July 12, 2024

තම ආකල්ප අභියෝග ජය ගැනීමට සහ තමාව තවදුරටත් දියුණු කිරීමට පොළඹන බව T 20 කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වූ වනිඳු හසරංග පවසයි.

T 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු සුන් කරමින් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීම සහ ආකල්ප මෙන්ම ඇතැම් විනය ගැටලු හේතුවෙන් ඔහු නිතර විවේචනවලට ලක්ව සිටී.

“මම හැම විටම ක්‍රීඩා පිටියේදී හැඟීම් ප්‍රකාශ කරනවා. ඒ ආකල්පය අභියෝග ජය ගැනීමට සහ වඩා හොඳින් කිරීමට මා තුළ පෙළඹීමක් ඇති කර ගැනීමට උපකාරී වනවා. මෙය කිසිඳු ආකාරයකින් කිසිවෙකුගේ සිත් රිදවීම අරමුණු කරගත් දෙයක් නෙවෙයි,” යනුවෙන් ඔහු පැවසීය.

පිටියේ දී හෝ ඉන් පිටත දී දස්කම් සම්බන්ධයෙන් කලකිරීමෙන් කරන කිසිදු ප්‍රකාශයක් පෞද්ගලිකව අදහස් කරන ඒවා නොවන බව ද ඔහු පැවසීය.

“මගේ වචනවලින් කාගේ හරි සිත් රිදවීමක් වුණා නම් මම අවංකවම සමාව ඉල්ලනවා,” යැයි හසරංග පැවසීය.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ T20 නායකත්වයෙන් ඉල්ලා අස්වන බව හසරංග ඊයේ නිවේදනය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා වෙත යොමුකළ සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් හසරංග කියා සිටියේ නායකත්වයෙන් ඉවත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යහපතට හේතු වන අතර ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමට තවදුරටත් සේවය කිරීමට කැමැත්තෙන් සිටින බවයි.

T20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව දැක්වූ දස්කම් ගැන ඔහු කණගාටුව ප්‍රකාශ කළේ, කණ්ඩායම T20 ලෝක කුසලානයෙන් ඉක්මනින් ඉවත්වීමට සිදුවීම නායකයා ලෙස තමන් සහ සමස්ත කණ්ඩායම අතිශයින් කලකිරීමට හේතු වූ බවයි.

කණ්ඩායම හොඳින් සූදානම්ව සිටින බව විශ්වාස කළද, අපේක්ෂාවන් සපුරාලීමට ඔවුන් අසමත් වූ බව හසරංග පිළිගත්තේය

නායකයා ලෙස තම වගකීම පිළිගනිමින් වඩා හොඳ ප්‍රතිඵල ලබා නොදීම ගැන ඔහු ජාතියෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව අයැද සිටියේය.