December 27, 2024

ඉන්දියන් සාගරයේ ඇති වූ දැවැන්ත සුනාමි ව්‍යසනය ශ්‍රී ලංකාවට විශාල විනාශයක් සිදුකර වසර විස්සක් ගත වී ඇතත්, ඉන් දිවි ගලවා ගත් ඇතැම් පිරිස් තවමත් සුන්බුන් අතර ඇවිදිමින් සිටිති.

2004 දෙසැම්බර් 26 වැනි දින ඇති වූ සුනාමි ව්‍යසනය රටේ වෙරළ තීරයෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් විනාශ කළ අතර, වෙරළ ආසන්නයේ දුර්වල ලෙස ඉදිකරන ලද නිවාසවල ජීවත් වූ අය වඩාත් දරුණු ලෙස පීඩාවට පත්විය.

ව්‍යසනයෙන් 35,000 කට වැඩි පිරිසක් මියගිය අතර, නිවාස 100,000 කට වඩා විනාශ විය.

එසේම මිලියන භාගයක් ජනයා මෙම ස්වාභාවික ව්‍යසනයෙන් අවතැන් විය.

කෙසේවෙතත් සුනාමියෙන් විපතට පත් සමහරු තවමත් නව නිවසක් බලාපොරොත්තුවෙන් සිටිති.

නිදසුනක් වශයෙන් හමීදා උම්මා අම්පාර දිස්ත්‍රික්කයේ විපතට පත් කාන්තාවකි.

62 හැවිරිදි වියේ පසුවන ඇයගේ නිවස ඛේදවාචකයෙන් විනාශ වී දශක දෙකක් ගතවී ඇතත්, ඇයට ඇගේ යැයි කිව හැකි වහලක් තවමත් ලැබී නැත.

“අපි නිවසක් ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. බලධාරීන් තවමත් අපට නිවස ලබා දෙන්නේ නැහැ,” ඇය CNA පුවත් සේවයට පවසා ඇත.

“අවුරුදු 20ක් ගියත් ඒ අය නිවස දීලා නැහැ. ඒ අවුරුදු 20 තුළ මගේ දරුවෝ ගොඩක් දුක් වින්දා. අපි අදටත් එහෙමයි.”

සුනාමියෙන් පසු, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාර්යයක් වූයේ නිවාස නැවත ගොඩනැඟීමයි.

මෙම වසර මුලදී CNA පුවත් සේවය නොරොච්චෝලේ උක් වගාවක් අසල පිහිටි නිවාස සංකීර්ණයකට ගොස් තිබේ.

සුනාමියෙන් අවතැන් වූ පවුල්වලට ආධාර කිරීම සඳහා සෞදි අරාබි රජය විසින් අරමුදල් සපයන මෙම නිවාස සංකීර්ණයේ නිවාස 500 ක් ඇත.

එහෙත් වාර්ගික දේශපාලනය නිසා උසාවි නියෝගයකින් නිවාස බෙදාදීම අත්හිටුවා තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් මුස්ලිම් ජනතාව ජීවත් වන නමුත් රටේ ජන අනුපාතයට අනුව නිවාස බෙදාදෙන ලෙස අධිකරණය බලධාරීන්ට උපදෙස් දී ඇත.

ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා බලධාරීන් අවසානයේ නිවාස ප්‍රතිලාභීන්ට ලබාදීමට උපදෙස් දී තිබේ.

සුනාමියෙන් දිවි ගලවාගත් තුයියාහන්දි චම්පා සමන්මලී ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය විසින් පරිත්‍යාග කරන ලද ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සීනිගම ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක ප්‍රතිලාභියෙකි.

“මටයි මගේ පවුලේ අයටයි මේ නිවස ලැබුණා. ඒ කාලෙ මේක අපිට මාලිගාවක් ලැබුණා වගේ. මොකද ඊට කලින් අපි අනුන්ගේ ගෙවල්වල හිටපු නිසා.” ඇය පැවසුවාය.

“ඉතින් නිවස ලැබුණු විට අපිට ලොකු සතුටක් දැනුණා. ලෝකයේ හොඳම මාලිගාව අපට ලැබුණා වගේ.”

ශ්‍රී ලංකා රාජ්‍ය නොවන සංවිධානයක් වන Foundation of Goodness සුනාමියෙන් පසු පරිත්‍යාගශීලීන්ගේ අරමුදල්වලින් නිවාස 1,000 ක් පමණ ඉදිකිරීමට උදව් කර ඇත.

42.31%
17.27%
32.76%