September 15, 2024

මාවතගම වෑඋඩ පස් ව්‍යාපාරිකයකු පස් කන්දකට යටවීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ වෑඋඩ හරන්කහගොඩ ප්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි රණසිංහගේ චානක ඉරෝෂන් නමැති ව්‍යාපාරිකයෙකි.

ඔහු දීර්ඝ කාලයක් තිස්සේ කොටිකාපොළ ප්‍රදේශයේ පස් කපා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු බව ද පොලිසිය කියයි.

ඔහුගේ බැකෝ යන්ත්‍රයකින්ම වැඩ කරමින් සිටියදී ඔහු පස් කපන ගැඹුරැති වළට බැස ඇති බවටත්, ඒ අතරතුර ඉහළ පස් කොටසක් කඩා වැටීමෙන් ඔහු මරණයට පත්වී ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.

විනාඩි හතළිහක පමණ කාලයක් වෙහෙස වී පස් ඉවත් කිරීමෙන් පසු ඔහුගේ සිරුර සොයා ගෙන ඇති බවත්, ඒ වනවිටත් ඔහු මිය ගොස් සිටි බවත් ප්‍රදේශවාසීහු සඳහන් කරති.

නොසිතූ අවස්ථාවක පස් කඩා වැටී යටවීමෙන් ඔහු මියගොස් ඇති බව මාවතගම පොලිසිය සඳහන් කරයි.(ලංකාදීප)