September 15, 2024

මෑත කාලයේ වෙළඳපොළට එක්වූ සබන් නිෂ්පාදන සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද ළදරු සබන්වල ප්‍රමිතිය නිසි පරිදි නොතිබීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය විමර්ශනයක් කර මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පැවැරීමෙන් අනතුරුව අදාළ සමාගම සිය වරද පිළිගෙන තිබේ.

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකරණ ලද මෙම නඩුව පවරනු ලබන්නේ මෙරට තරගකාරී සබන් නිෂ්පාදන ආයතනයකට එරෙහිවය.

මිල අඩු සබන්වලටම ප්‍රසිද්ධ එම සමාගම විවිධ ආකර්ශණීය හැඩැති මිල අඩු ළදරු සබන් නිෂ්පාදනය කරමින් වෙළඳපොළට නිකුත්කර ඇත.

පාරිභෝගික සේවා අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව මැයි මස 30 වැනි දින එම නිලධාරීන් විසින් පිටකොටුව ප්‍රදේශයෙන් මෙම සමාගමට අදාළ මිල අඩු ළදරු සබන් නිෂ්පාදනයන් කිහිපයක සාම්පල් ලබාගෙන ඇති අතර, පසුව එම සබන් නිෂ්පාදනයන්ගේ ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා කාර්මික තාක්ෂණ ආයතනය වෙත එම සාම්පල් යොමුකර තිබේ.

පසුව පාරිභෝගිකයා නොමඟ යවනසුලු ආකාරයේ වංචනික කටයුත්තක් සිදුකිරිමට අදාළව චෝදනා දෙකක් යටතේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් මෙම සමාගමට එරෙහිව නඩු පවරා තිබූ අතර එම නඩුව ඉකුත් 16 වැනි දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග විය.

කාර්මික තාක්ෂණ ආයතනය මඟින් ලබාදුන් වාර්තාව පදනම් කරගනිමින් මෙම නඩුව ගොනුකර ඇති අතර ළදරු සබන් කාණ්ඩයේ TFM අගය 78%ක් ලෙස තිබිය යුතු බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් SLS 547 :2009 Specification for Baby Soap යටතේ අදාළ ප්‍රමිතීන් සහතික කර තිබුණද, එම ප්‍රමිතිය පිළිබඳව සමාගම සඳහන් කොට ඇත්තේ සිය ඇසුරුමේ පමණක් බව හෙළිව තිබේ.

කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්තාවට අනුව එම ප්‍රශ්නගත ළදරු සබන් කාණ්ඩයේ TFM අගය තිබී ඇත්තේ 63% ක ප්‍රතිශතයක් පමණි.

එම සබන් නිෂ්පාදන ආයතනයේ නිලධාරීන්ද කැඳවා නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සමාගම තමන් කළ වරද පිළිගෙන ඇත.

අධිකරණයෙන් එම සමාගමට නියෝග කොට ඇත්තේ මෙම ප්‍රමිතියට අනුකූල නොමැති එම ළදරු කාණ්ඩයේ සියලු ළදරු සබන් කැට අලෙවිය නතර කරන ලෙසටත්, දැනට වෙළෙඳසැල් වෙත බෙදාහැර ඇති ළදරු සබන් කැට එක්රැස් කරගන්නා ලෙසටත්ය.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ පිළිබදව ප්‍රසිද්ධ දැන්වීමක් පළකරමින් සඳහන් කර ඇත්තේ, අදාළ සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලබන ළදරු සබන් මිලදී ගැනීමේදී සහ භාවිතයේදී වඩාත් සැළකිලිමත් වන ලෙස මහජනතාවට දැනුම්දෙන බවයි.