August 1, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොහොට්ටුව ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට කැමැත්ත පළකරන්නේ නම්, ඊට අදාළ යෝජනාව දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඔහුට ලබාදීමේ හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන සතියේ ගන්නා බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසුවේය.

ඊයේ ජනමාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ කියාසිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් සැළකිව යුතු පිරිසක් වෙනත් ආකාරයකින් තීරණය කළද, ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදීමේ පක්ෂයේ තීරණය මත තමන් පෙනීසිටින බවයි.

පක්ෂයේ තීරණය පිළිපැදීමට අපොහොසත් වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නේ දැයි විමසූ විට රාජපක්ෂ මන්ත්‍රීවරයා කියාසිටියේ ඒවා පිළිබඳව ඉදිරියේදී ජනතාව තීරණය කරනු ඇති බවයි.

දැන් රනිල් වික්‍රමසිංහට ප්‍රශංසා කරන මන්ත්‍රීවරුන්, රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අවස්ථාවේදී ඔහුට සහාය පළකිරීම සම්බන්ධයෙන් තමාව විවේචනය කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනූ දෙදෙනෙකු ජනාධිපති වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට ප්‍රතිඥා දීමට ගත් තීරණයට ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේ මැතිවරණයකට පෙර ස්වාධීනව සිටීමට මන්ත්‍රීවරුන් තීරණය කිරීම අසාමාන්‍ය දෙයක් නොවන බවයි.

42.31%
17.27%
32.76%