July 26, 2024

ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ අපේක්ෂකත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක කමිටුව ලබන සඳුදා රැස්වන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ප්‍රකාශ කරයි.

උදයංග වීරතුංග මේ බව ප්‍රකාශ කළේ, තම ජනාධිපති සහ අගමැති අපේක්ෂකයන්ගේ සූදානම ප්‍රකාශ කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධම්මික පෙරේරා සහ නාමල් රාජපක්ෂ සිටින ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළකරමිනි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක තීරණය ලබන සඳුදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් අනාවරණය කළේය.

සාගර කාරියවසම් මේ බව ප්‍රකාශ කළේ එම පක්ෂ මූලස්ථානයේ පැවැති ජනමාධ්‍ය හමුවකදීය.

ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සඳහා ඉදිරි ක්‍රියාදාමය පිළිබඳව එහිදී ඔහු කරුණු පැහැදිලි කළේය.

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය සාකච්ඡා කර අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹෙන බව කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේය.