December 1, 2023

ප්‍රතිජීවක සහ වේදනා නාශක ඖෂධ අනිසි ලෙස භාවිත කිරීම ජීවිතයට අහිතකර ප්‍රතිවිපාක ගෙන දිය හැකි බැවින් ඒවා භාවිත කිරීමේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශ සහ මාර්ගෝපදේශ පිළිපදින ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) වෛද්‍යවරුන්, ඖෂධවේදීන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

‘ඩේලි මෝනිං’ වෙත අදහස් දක්වමින් SLMA සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න පවසා ඇත්තේ, අදාළ නිර්දේශ සහ මාර්ගෝපදේශ නිකුත් කිරීමේදී ප්‍රධාන නියාමන ආයතනය ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) විශාල වගකීමක් පැවරෙන බවයි.

NMRA විසින් ඔසුසැල් සහ රෝහල් වෙත සිදුකරන නිරීක්ෂණ චාරිකාවලදී ප්‍රතිජීවක සහ වේදනා නාශක නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු බවද ඔහු පෙන්වාදෙයි.

වෛද්‍ය ආරියරත්න පවසන්නේ, අක්‍රමවත් ලෙස ප්‍රතිජීවක ලබා ගැනීම හානිකර තත්ත්වයන්ට හේතු වන බැවින් කිසිදු ආකාරයක නිසි බෙහෙත් වට්ටෝරුවකින් සහ රෝග විනිශ්චයකින් තොරව ප්‍රතිජීවක ලබාගැනීමට රෝගීන් උනන්දු නොකරන ලෙස SLMA ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි.

එබැවින් වෛද්‍යවරයකුගේ බෙහෙත් වට්ටෝරුවකින් තොරව ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීමේදී ජනතාව ද ඉතා සැළ ලිමත් විය යුතු බව ඔහු සඳහන් කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්වන SLMA සභාපතිවරයා පවසන්නේ, වෛද්‍යවරයා නිර්දේශ කරන ඕනෑම දෙයක්‌ නිකුත් කිරීමේ බලය ඖෂධවේදීන් සතු බැවින් මෙම ක්‍රියාවලියේදී ඖෂධවේදීන්ට ඉතා වැදගත් කාර්යභාරයක්‌ පැවරෙන බවයි.

එබැවින් ප්‍රතිජීවක සහ වේදනා නාශක නිකුත් කිරීමේදී වගකීමෙන් කටයුතු කරන ලෙස SLMA ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු පවසයි.

42.31%
17.27%
32.76%