November 3, 2023

“ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හිතාමතා කරන හිරිහැර” හේතුවෙන් සිය දෛනික කටයුතුවලට බාධා එල්ලවන බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක මෑත කාලීන තරගාවලි කිහිපයකට ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම් පිළිබඳව අවධාරණය කර ඇත.

19න් පහළ ICC ලෝක කුසලානයේ සත්කාරකත්වය, ලංකා T10 සුපර් ලීග්, ජපන් අවස්ථා ප්‍රතික්ෂේප කිරීම සහ පිරිමි ICC ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම, නවසීලන්ත ශ්‍රී ලංකා සංචාරය, 2022 ආසියානු කුසලාන ශූරතාවලිය ආදී අවස්ථාවලදී මෙලෙස අමාත්‍යංශයේ අනවශ්‍ය මැදිහත්වීම් සිදුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

පවතින ගැටළු විසඳීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡාවක් ඉල්ලා ඇත.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපියට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයට එල්ල කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ සිය ලිපියෙන් පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වන බරපතල චෝදනා සහ දූෂණ චෝදනා හමුවේ එහි ක්‍රියාකලාපය කණගාටුදායක බවයි.