August 8, 2023

ඊයේ චීන වරායේදී ගුවන් නියමුවකු සහ නිලධාරියකු මියයෑමට හේතු වූ පුහුණු ගුවන් යානයක් කඩාවැටීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ විශේෂ කමිටු වාර්තාව ලැබෙන තෙක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සියලුම PT-6 වර්ගයේ පුහුණු ගුවන් යානා පියාසර කරවීම තාවකාලිකව නවත්වා ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT-6 පුහුණු ගුවන් යානයක් ඊයේ උදෑසන ගුවන්ගත වී මිනිත්තු කිහිපයකට පසු චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය තුළදී කඩා වැටිණි.

මෙම අනතුරින් යානයේ සිටි නියමුවා සහ නිලධාරියා යන දෙදෙනාම මියගියේය.

අනතුරින් පසු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබේ.

ගුවන්, තාක්ෂණික සහ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලය විසින් අතුරු වාර්තාවක් ගුවන් හමුදාපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

2020 දෙසැම්බරයේදීද චීන වරායෙන් ගුවන්ගත වූ තවත් PT-6 ගුවන් යානයක් ද කන්තලේට කඩාවැටුණේ පාලක කුළුණ සමඟ සන්නිවේදන විසන්ධි වීමෙනි. එහිදී කැඩෙට් නියමුවෙක් මරණයට පත්විය.