August 15, 2024

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තවදුරටත් නම් කිරීමට කැනඩාව ගත් තීරණය සමබන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රසාදය පළකර තිබේ.

විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව, ලෝක දෙමළ ව්‍යාපාරය සමඟ එල්ටීටීඊය ත්‍රස්තවාදී සංවිධාන ලෙස තවදුරටත් නම් කිරීමට කැනඩා රජය ගත් තීරණය ශ්‍රී ලංකා රජය සාදරයෙන් පිළිගනී.

මෑත සමාලෝචනයකට අනුව එල්ටීටීඊයේ සෙවනැළි තවමත් පවතින අන්තර්ජාතික අරමුදල් රැස්කිරීමේ සහ ප්‍රසම්පාදන ජාලයක් ඇති බව කැනඩාව තහවුරු කරයි.

ඔවුන් වෙනුවෙන් අරමුදල් රැස්කරමින් එල්ටීටීඊ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා මෙම කණ්ඩායම අඛණ්ඩව පහසුකම් සපයන කාර්යභාරයක් ඉටු කරන බව එම සමාලෝචනයේ සටහන් වේ.

දැඩි සමාලෝචන ක්‍රියාවලියකින් පසුව ගන්නා ලද මෙම තීරණය මෙම සංවිධාන විසින් එල්ල කරන අඛණ්ඩ තර්ජනය යළි තහවුරු කිරීමකි.

කැනඩා රජය 2006 අප්‍රේල් 6 වැනි දින අපරාධ නීති සංග්‍රහය යටතේ කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ප්‍රථම වරට ලැයිස්තුගත කරන ලද අතර සෑම වසර පහකට වරක් සමාලෝචනයක් සිදු කිරීම එරට නීතිය අනුව ව්‍යවස්ථාපිත අවශ්‍යතාවකි.

නවතම සමාලෝචන ක්‍රියාවලිය 2024 ජුනි මාසයේදී අවසන් වී තිබිණි.

එක්සත් රාජධානියේ එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කිරීම සඳහා කරන ලද අයදුම්පත සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ තහනම් කරන ලද සංවිධාන සහ අභියාචනා කොමිසම විසින් මෙම වසරේ දුන් තීන්දුවට අමතරව කැනඩා රජය විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය අඛණ්ඩව ලැයිස්තුගත කිරීම මෑත කාලයේ එල්.ටී.ටී.ඊ.යට එරෙහිව අඛණ්ඩව ක්‍රියාත්මක වූ තුන්වැනි තහනම වේ.

42.31%
17.27%
32.76%