52%
18.9%
22.2%
August 18, 2024

වඳුරු උණ ලෙස මීට පෙර හඳුන්වන ලද වෛරස් රෝගයක් වන mpox සම්බන්ධ පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාව සූදානම්ව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් mpox මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

වසංගත රෝග විද්‍යා අංශයේ උපදේශක වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය පී.සී.එස්. පෙරේරා තහවුරු කරන්නේ ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කිසිදු mpox රෝගියකු වාර්තා වී නොමැති බවයි.

යම්කිසි රෝගී තත්ත්වයක් මතු වුවහොත් ඒ සඳහා මුහුණදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ සහ ප්‍රතිකාර පහසුකම් යන දෙකින්ම සන්නද්ධ බව වෛද්‍ය පෙරේරා පවසයි.

mpox යනු ලෝකයෙන් තුරන් කරන ලද වසූරිය වෛරසයට සම්බන්ධ වෛරස් රෝගයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එය ස්පර්ශ කිරීම, සිපගැනීම් හෝ ලිංගික ක්‍රියාකාරකම් ඇතුළු සමීප සම්බන්ධතා හරහා මෙන්ම ඇඳ ඇතිරිලි, ඇඳුම් පැළඳුම් සහ ඉඳිකටු වැනි දූෂිත ද්‍රව්‍ය හරහා පැතිරෙයි.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව, තෙහෙට්ටුව, හිසරදය,මාංශ පේශි දුර්වලතාව වැනි ලක්ෂණ රෝගයේ ආරම්භක රෝග ලක්ෂණය.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සහ තවත් අප්‍රිකානු රටවල් කිහිපයක පැතිරීම සළකා බලා අගෝස්තු 14 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය අන්තර්ජාතික මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන්නේ මෑතදී පැතිර ගිය mpox රෝගීන් ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී නොමැති වුවද, මීට පෙර මෙරටින් රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

විශේෂයෙන් අප්‍රිකානු මහාද්වීපය වැනි අවදානම් කලාපවලින් ආපසු පැමිණෙන සංචාරකයන් සඳහා නිරීක්ෂණ කටයුතු වැඩි දියුණු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම බව වෛද්‍ය විජේසිංහ ප්‍රකාශ කළේය.

52%
18.9%
22.2%