September 11, 2024

දෙමළ ඩයස්පෝරා ක්‍රියාකාරීන් විසින් සංවිධාන කරන ලද උද්ඝෝෂණයක් අතරතුර එල්.ටී.ටී.ඊ ලාංඡන ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එක්සත් රාජධානියේ ස්වදේශ කාර්යාලය වෙත විරෝධය පළ කර තිබේ.

ශ්‍රී ලංකා – එංගලන්ත තුන්වැනි ටෙස්ට් තරඟයේ තුන්වැනි දිනයට පෙර සැප්තැම්බර් 8 වැනිදා ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන ලද බව කියන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස එම පිරිස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) ඉල්ලා සිටියහ.

ලොව පුරා තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලාංඡනය විරෝධතාකරුවන් විසින් එහිදී ප්‍රදර්ශනය කරනු දක්නට ලැබිණි.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම පවසන්නේ තමන් ඒ සම්බන්ධ විරෝධතාව එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලයට ඉදිරිපත් කළ බවයි.

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බ්‍රිතාන්‍යය එල්.ටී.ටී.ඊ.යට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය විසින් කරන ලද අභියාචනය එක්සත් රාජධානියේ තහනම් සංවිධාන අභියාචනා කොමිසම විසින් මෙම වසරේ ප්‍රතික්ෂේප කරන ලදී.

2001 මාර්තු 29 වැනි දින, එක්සත් රාජධානියේ රාජ්‍ය ලේකම්වරයා 2001 ත්‍රස්තවාදී පනතේ (තහනම් කළ සංවිධාන) (සංශෝධන) 2 වැනි උපලේඛනයේ තහනම් සංවිධාන ලැයිස්තුවට එල්.ටී.ටී.ඊ සංවිධානය එක් කළේය.

එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරා ක්‍රියාකාරීන් එම තහනම ඉවත් කර ගැනීමට මීට පෙර ද උත්සාහ දරා තිබිණි.