August 29, 2024

මිනිස් ජාවාරම්වලට ගොදුරු වී මියන්මාරය, රුසියාව, ඩුබායි සහ ඕමාන් යන රටවල අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය පවසයි.

මියන්මාරය සහ තායිලන්තය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සයිබර් අපරාධ සම්බන්ධයෙන් මියන්මාරයේ සිරගත කර සිටින ශ්‍රී ලාංකිකයන් 55 දෙනාගෙන් 28 දෙනෙකු නිදහස් කිරීමට විදේශ අමාත්‍යාංශය සමත් වූ බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

“ඉතිරි පුද්ගලයන් හැකි ඉක්මනින් නිදහස් කිරීමට අපි අඛණ්ඩව උත්සාහ කරනව,” යැයි ඔහු පැවසීය.

රුසියානු හමුදාවට බැඳුණු විශ්‍රාමික රණවිරුවන් 70කට ආසන්න පිරිසකට නැවත පැමිණීමට අමාත්‍යාංශය පහසුකම් සලසා ඇති බවද රාජ්‍ය ඇමැති බාලසූරිය වැඩිදුරටත් පැවසීය.

“ඔවුන්ට හිමිවන ප්‍රතිලාභ ඔවුන්ට ලැබෙන බව අපි සහතික කර තිබෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

සංචාරක වීසා මත ඩුබායි, ඕමානය වැනි රටවලට ගොස් පීඩාවට පත් වූ ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කළ බවද ඔහු අනාවරණ කළේය.

විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මෙම අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.