February 22, 2024

එක්සත් ජනපද සම්බාධක මගහරිමින් තෙල් වෙළඳාම පුළුල් කිරීමේ හැකියාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ ඉරානය ගවේෂණය කරමින් සිටින බව තතු දත් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ඉරානයට එරෙහිව දැඩි සම්බාධක පැනවීමෙන් පසු භාණ්ඩ වෙළඳාම් කිරීමේදී ඉරානය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටී.

ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන විදේශ කටයුතු ඇමැති හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මෙරට නායකයන් සමඟ කළ සංවාදයකදී මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

එම සාකච්ඡා පිළිබඳ තතුදත් ආරංචි මාර්ගවලින් පැවසුණේ අදාළ තෙල් ගනුදෙනු තුන්වැනි පාර්ශ්වයක් හරහා සිදුවන නමුත් එක්සත් ජනපද සම්බාධක නොතකා වෙළඳාම පුළුල් කිරීමේ හැකියාව ගවේෂණය කිරීමට දෙපාර්ශ්වය තීරණය කළ බවයි.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ ඉරානය සමග තේ හුවමාරු කිරීම ආරම්භ කළේ කලින් මිලදීගත් තෙල් සඳහා ඩොලර් මිලියන 250ක් ගෙවීම වෙනුවෙනි.

එම ගනුදෙනුව මේ වන විට සාර්ථකව සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

ක්‍රමවේදයන් සකස් කිරීම සඳහා දෙරටේ මහ බැංකු සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ මීට පෙර දෙපාර්ශ්වය එකඟ වී තිබිණි.

විදේශ කටයුතු ඇමැති අලි සබ්රිගේ ආරාධනයකට අනුව පැමිණි ඉරාන විදේශ ඇමැතිවරයා පෙබරවාරි 19 වැනිදා සිට 21 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටියේය.

42.31%
17.27%
32.76%