July 13, 2024

විමර්ශන කටයුතුවලදී ඇතැම් පොලිස් නිලධාරීන්ගේ වෘත්තීය හැසිරීම හෙළාදකිමින් සමගි තරුණ නීතීඥ ව්‍යාපාරය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

එම ලිපිය මගින් ඔවුන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය ඇතුළු විශේෂිත සිද්ධීන් දෙකක් ඉස්මතු කර සංවේදී තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කිරීම විවේචනයට ලකකර ඇත.

සමගි තරුණ නීතීඥ ව්‍යාපාරය පෙන්වා දී ඇත්තේ සැකකරුවන්ගේ පාපොච්චාරණ, සාක්ෂි සහ අදාළ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර මාධ්‍යයට නිකුත් කිරීම නීතිමය ක්‍රියාවලියට අහිතකර පමණක් නොව ඊට සම්බන්ධ අයගේ ජීවිතවලට තර්ජනයක් බවයි.

එවැනි ක්‍රියාවන් යුක්තිය පසිඳලීමට බරපතළ ලෙස බාධාවක් විය හැකි සේම ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළනසුළු බව ඔවුන් අවධාරණය කර තිබේ.

“ක්ලබ් වසන්ත” නමින් හැඳින්වෙන ව්‍යාපාරික වසන්ත පෙරේරා ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්වූ අතර එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානයටද ලක්විය.

එසේම ඔවුන් පෙන්වා දී ඇත්තේ අදිකරණ කටයුතුවලට පෙර සාක්ෂි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම, වරදකරුවන් බව ඔප්පු වන තුරු සැකකරුවන් නිර්දෝෂීය යන මූලික මූලධර්මය යටපත් කරන බවයි.

එසේම තවත් අවස්ථාවකදී අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටී සිසුන් දෙදෙනෙකු මියයෑම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය ද අදාළ ලිපිය මගින් සමගි තරුණ නීතිඥ ව්‍යාපාරය හෙළාදැක ඇත.

මරණ සියදිවි නසාගැනීම් බවට සහ මියගිය සිසුන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් යන උපකල්පන විස්තර කර ඇත්තේ අතිශයින්ම වගකීම් විරහිතව බව එමගින් පෙන්වා දී තිබේ.

එවැනි ප්‍රකාශ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හානිදායක බව ඔවුන් අවධාරණය කර ඇත.

ඊට සම්බන්ධ නිලධාරීන්ගේ වෘත්තීය හැසිරීම් පිළිබඳ සොයා බලා මින් ඉදිරියට මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ක්‍රියාත්මක කරන ලෙස සමගි තරුණ නීතිඥ ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

42.31%
17.27%
32.76%