February 9, 2025

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මේ වන විට ඒකාබද්ධ වීමේ සාකච්ඡා වල යෙදී සිටින අතර, එම පක්ෂවල ප්‍රමුඛතාවය ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරඟ කිරීම බව ප්‍රකාශයට පත්කර තිබේ.

පක්ෂ දෙකෙහි නිලධාරීන් පවසන්නේ, සමගි සාකච්ඡා ධනාත්මකව ඉදිරියට යමින් පවතින බව සහ ඔවුන් තවත් සාකච්ඡා වටයක් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

Sunday Times වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරල පවසා ඇත්තේ, පළාත් පාලන මැතිවරණයට එක්ව තරඟ කිරීමේ හැකියාව පිළිබඳව පක්ෂ අතර සාකච්ඡාවලදී අවධානය යොමු වී ඇති බවයි.

ඇතැම්ව ස්ථානවලට එක්සත් ජාතික පක්ෂ ලකුණින් ද තවත් ප්‍රදේශයකට සමගි ජනබලවේගයේ ලකුණින් ද තරඟ කිරීමට යෝජනාවක් පිළිබඳ සාකච්ඡා කළ බව ද ඇය පැවසුවාය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විදේශ සංචාරයක නිරත වී සිටින බැවින් ඔහු නැවත පැමිණෙන තෙක් බලාසිටින බවත්, සාකච්ඡා පිළිබඳ තීරණයක් ගැනීමට කළමණාකාර කමිටුව සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීමට පෙර සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව ඔහු දැනුවත් කළයුතු බවත් ඇය පවසා තිබේ.

සාකච්ඡා ධනාත්මකව ඉදිරියට යමින් පවතින බවත්, එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජනබලවේගය එක්ව මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් කොන්දේසි ඉදිරිපත් නොකළ බවත් තලතා අතුකෝරල පවසා ඇත.

එමෙන්ම ඇය පෙන්වාදී ඇත්තේ, බිම් මට්ටමේ ආධාරකරුවන්ට අවශ්‍ය වන්නේ, දෙපාර්ශ්වයම එකට එක්වීම බවයි.

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසන්නේ, දෙපාර්ශවය අතර සාකච්ඡා වට හතරක් පැවැත් වූ බවයි.

පක්ෂ දෙක අතර සන්ධානයක් ඇති කිරීමට සමගි ජන බලවේගයට දිගුකාලීන සැලැස්මක් තිබූ බව ද ඔහුද සඳහන් කරයි.

කෙසේවෙතත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයත් සමඟ ඉදිරි මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් පමණක් දැනට සාකච්ඡා කර ඇත.

එම රැස්වීම්වලදී පළාත් පාලන බල ප්‍රදේශ කිහිපයක් තෝරාගෙන එක්ව මැතිවරණයට ඉදිරිපත් වීමට ප්‍රථමයෙන් සාකච්ඡා කර ඇත.

දෙවනුව සාකච්ඡා කර ඇත්තේ, ඇතැම් ප්‍රදේශවලට සමගි ජන බලවේගය යටතේත් තවත් ප්‍රදේශ කිහිපයකට එක්සත් ජාතික පක්ෂය යතතේත් තරග කිරීමටය.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

සාකච්ඡාවල ප්‍රගතිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ කළමනාකාරීත්ව කමිටුවට දැනුම්දුන් බවද ගයන්ත කරුණාතිලක පවසයි.

42.31%
17.27%
32.76%