December 26, 2024

ලංකා විදුලිබල මණ්ඩලයෙන් අත්තනෝමතික ලෙස ඉවත් කළ සේවකයන් යළි සේවයේ පිහිටුවීමට අමතරව දේශපාලනඥයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් එම තීරණ ගත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතු බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

පසුගිය රජය සමයේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව පැවති විරෝධතාවලට සහභාගී වීම හේතුවෙන් සේවයෙන් පහ කරනු ලැබූ විදුලිබල මණ්ඩලයේ සේවකයන් 62 දෙනෙකු දෙසැම්බර් 24 වැනි දින බලශක්ති අමාත්‍යාංශය විසින් යළි සේවයේ පිහිටුවන ලදී.

සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසන්නේ සේවයෙන් පහ කළ සේවකයන් නැවත සේවයේ පිහිටුවීමට ගත් තීරණය ප්‍රශංසනීය නමුත් ඔවුන් සේවයෙන් පහ කිරීමට හේතු වූ චක්‍රලේඛ නිකුත් කිරීමට වගකිව යුතු ඉහළ නිලධාරීන්ට එරෙහිව ද පියවර ගත යුතු බවයි.

“මෙම සේවකයන් සේවයෙන් පහ කිරීම ලංවිම මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබුණේ. මෙම සේවකයන් නැවත සේවයේ පිහිටුවීම මගින් කියවෙන්නේ ඔවුන් සේවයෙන් පහ කිරීමට ගත් තීරණය වැරදි සහ නීති විරෝධී බවයි. එසේ නම් දේශපාලනඥයන්ගේ කැමැත්ත පරිදි එම තීරණය ගෙන එය ක්‍රියාත්මක කළ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුයි. මගේ දැනුමට අනුව ඔවුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.

නැවත සේවයේ පිහිටුවන ලද ඇතැම් සේවකයන් සේවයෙන් පහ කරන අවස්ථාවේ ඔවුන් සේවය කළ අංශ වෙත ආපසු නොයවා විවිධ අංශවලට අනුයුක්ත කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“ඔවුන්ට යුක්තිය ඉටු වෙනවා නම් සේවකයන් සේවයෙන් පහ කරන විට ඔවුන් සේවය කළ අංශවලට අනුයුක්ත කළ යුතුයි. අපට දැනගන්නට ලැබී ඇත්තේ ඔවුන් වෙනත් අංශවලට මාරු කර ඇති බවයි. එය ‘සම්පූර්ණ යුක්තියක්’ නොවේ,” යැයි ඔහු පැවසීය.

විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබියදීත් විරෝධතා හේතුවෙන් සේවා අඩාළ වූ බව පවසමින් මෙම සේවකයන් සේවයෙන් පහ කිරීමට මුලින් නියෝග කර ඇත්තේ හිටපු විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර විසිනි.

 

42.31%
17.27%
32.76%