January 5, 2024

සමගි ජන බලවේගයට පිටස්තර පුද්ගලයන් දිගින් දිගටම එකතු වෙමින් පවතින අතර, එලෙස පැමිණි කිහිපදෙනකු සංවිධායක ධූරවලට පත්කිරීමත් සමග, පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන් අතර නොසන්සුන්තාවක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

සජබට අලුතින්ම පැන්නේ, ශ්‍රීලනිප පැරණි මුරකරුවකු වූ ප්‍රොටස් තිසේරාගේ පුත් දයාශ්‍රිත තිසේරාය. පැමිණි වහාම ඔහු නාත්තන්ඩිය සජබ සංවිධායකවරයා ලෙස ඊයේ පත්කෙරිණි.

තිසේරා පිළිගැනීමට සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නිරෝෂන් පෙරේරා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෝ පිරිසක් විපක්ෂ නායක කාර්යාලයට පැමිණ සිටියහ.

කෙසේවෙතත් සජබ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි එම අවස්ථාවට නොපැමිණ සිටීම කැපීපෙනෙන සිදුවීමක් විය.

ජනමාධ්‍ය විසින් කළ විමසීමකදී අප්පුහාමි මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, තම වාහනය ක්‍රියා විරහිත වී ඇති බැවින් පිළිගැනීමේ උත්සවයට පැමිණීමට නොහැකිවූ බවයි.

ශාන් විජයලාල් ද සිල්වා අම්බලන්ගොඩ සජබ ආසන සංවිධායකවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසන්නේ, ගාල්ල දිස්ත්‍රික්කයෙන් මුහුදුබඩ ප්‍රදේශවලින් විශාල ඡන්ද සංඛ්‍යාවක් විජයලාල් ද සිල්වාට දිනාගත හැකි බවයි.

ප්‍රදේශයේ සමහර පාක්ෂිකයන් ඔහුව සජබට ගැනීම ගැන සතුටු නොවිය හැකි නමුත් පක්ෂයේ ස්ථාවරය ශක්තිමත් කිරීම සඳහා එවැනි තීරණ ගෙන ඇති බව ඔහු පවසා ඇත.

මේ අතර පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, සජබ මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු, දයාශ්‍රිත තිසේරා වෙනුවෙන් තම සංවිධායක ධුරය කැපකළ අතර බන්දුල ලාල් බණ්ඩාරිගොඩ අම්බලන්ගොඩ ආසන සංවිධායක ධුරය ද සිල්වාට ලබාදීම සඳහා කැපකළ බවයි.

42.31%
17.27%
32.76%