September 6, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රිපීටර් තුවක්කු මිලදී ගැනීමට සහ නිල කාලය අවසන් වූ පසුවත් ඒවා රඳවා ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය දී තිබෙන අවස්ථාව පිළි නොගැනීමට සමගි ජන බලවේගය ද තීරණය කර තිබේ.

මන්ත්‍රීවරුන්ට තම පෞද්ගලික මුදලින් රිපීටර් ෂොට් ගන් වර්ගයේ තුවක්කු දෙක බැගින් මිලදී ගැනීමටත් ධුරවලින් ඉවත් වූ පසුවත් ඒවා ළඟ තබා ගැනීමට අවසර දෙන බවත් ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීරට දැනුම් දී තිබිණි.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ තම පක්ෂය එම අවස්ථාව ලබා නොගන්නා බවයි.

එවැනි ආයුධ අවශ්‍ය නොවන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ද ප්‍රකාශ කර ඇත.

“අපිට රිපීටර් තුවක්කු දෙකක් ගන්න පුළුවන් කියලා මට ලිපියක් ලැබුණා. මම ඒක ඉරලා විසි කළා විතරයි. මම මේ අවුරුදු ගණනාව පුරාම කිසිම ආයුධයක් පාවිච්චි කළේ නැහැ. අනික මන්ත්‍රීවරුන්ට රිපීටර් තුවක්කු අවශ්‍ය වෙයි කියලා මම හිතන්නෙත් නැහැ,” යනුවෙන් ඔහු පවසා තිබේ.

මන්ත්‍රීවරුන් ළඟ තබාගන්නා රිපීටර් තුවක්කු සඳහා ඔවුන්ගේ දිස්ත්‍රික්කවලින් වාර්ෂිකව බලපත්‍ර ලබාගත යුතුය.

කෙසේවෙතත්, මෙම තුවක්කු වෙනත් පාර්ශ්වයකට මාරු කිරීම සහ ඒවා පාර්ලිමේන්තුවට සහ වෙනත් ජනාකීර්ණ ස්ථානවලට රැගෙන යෑම තහනම් කර ඇත.

කෙසේවෙතත්, ආරක්ෂක අමාත්‍යාංශයේ තීරණය මැතිවරණ සමයේ අල්ලස් දීමකට සමාන කරමින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද පසුගියදා ප්‍රකාශ කළේ තම පක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකු දී තිබෙන එම අවස්ථාව පිළිනොගන්නා බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රිපීටර් තුවක්කු මිලදී ගැනීමට සහ ඔවුන් බලයේ නොසිටින පසුවත් ඒවා තබා ගැනීමට ඉඩ දීම ඉතා භයානක බව ඔහු පෙන්වා දී තිබේ.

ජාතික ජන බලවේගයේ කිසිඳු මන්ත්‍රීවරයකු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා රජය විසින් දැනට ලබා දී ඇති පිස්තෝල භාර ගැනීම ද ප්‍රතික්ෂේප කළ බව ඔහු සඳහන් කර ඇත.