42.31%
17.27%
32.76%
October 17, 2023

බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලෙන් සය නිවුන් දරු උපතක් වාර්තා වී තිබේ.

දරු ප්‍රසූතිය සිදුව ඇත්තේ පසුගිය ඉරිදා (15) දිනයේය.

බිළිඳුන් සයදෙනාම මේ මොහොතේ ළදරු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලේ ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය එල්. පී. සී. සමන් කුමාර පවසයි.

එම බිළිඳුන්ගෙන් පස්දෙනකු කාසල් රෝහලේත් අනෙක් බිළිඳා කොළඹ ළමා රෝහලෙත් ප්‍රතිකාර ලබන බව ඔහු සඳහන් කළේය.

බිළිඳුන් සියලුදෙනාටම කෘත්‍රිම ශ්වසනය ලබාදෙන බවත් ඔවුන්ව ජීවත් කරවීම දැඩි අභියෝගයක් බවත් වෛද්‍ය සමන් කුමාර පෙන්වාදෙයි.

උපකරණවල හෝ ඖෂධවල හෝ අඩුපාඩුවක් නොමැතිව මේ මොහොතේ කටයුතු කිරීමට හැකියාව ලැබී තිබුණද දරුවන් හයදෙනා ඉපැදී ඇත්තේ සති 26කින් වීම දැඩි අභියෝගයක් බවද හෙතෙම සඳහන් කළේය.

“ඒ වගේම දරුවන්ගේ බර ග්‍රෑම් 400 – 700ත් අතර. ඉතින් එහෙම දරුවෙක් ජීවත් කරවනවා කියන එක වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අපිට ලොකු අභියෝගයක්. නමුත් අපි ඒ කටයුතු යුහුසුළුව කරගෙන යනවා. මේ දරුවන් හයදෙනාගේ කතාව ඇතුළේ සමාජය දැනුවත් නැති කතාවක් තියෙනවා. ඒ තමා නළ උපත් සිදුකරනකොට නියාමනයක් තියෙනවා. වෛද්‍ය සදාචාර තියෙනවා. ඒ අනුව තමා අපි කටයුතු කළ යුත්තේ. මොකද මේ වගේ දරුවන් හයදෙනෙක් එකපාර ජීවත් කරවීම රෝහලටත්, ඒකකයටත්, මේ පවුලටත් ඉතාම ලොකු අභියෝගයක් සහ බරක්. සාමාන්‍යයෙන් කෘතිම දරු උපතක් සිදුකරනකොට කලලයක් හෝ දෙකක් තමා තැන්පත් කිරීම සිදුකරන්නේ. ඒ නියාමනය අපේ රටේ සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා මේ කටයුතු කිරීමේ දී කළල කිහිපයක් තැන්පත් කරනවා. එතකොට තමා මේ වගේ විශාල දරුවන් ප්‍රමාණයක් බිහිවෙන්නේ. මේ වගේ හැමෝම අසරණ වෙන්නේ. අපේ රටේ මේ නියාමනය සිදුවිය යුතුයි. ඒකට වෛද්‍යවරු විදියට අපි කැපවෙලා කටයුතු කළත් සමාජය සහ මහජනතාවගේ දැනුවත්භාවය ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. මොකද මේ දරුවන් හයදෙනාගේම ජීවිත මේ වනවිට අවදානම් මට්ටමේ තියෙන්නේ.” යනුවෙන් ද වෛද්‍ය සමන් කුමාර සඳහන් කළේය.

42.31%
17.27%
32.76%