September 7, 2024

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේ සංවිධාන කෙරුණු රැස්වීම් හයක් අත්හිටවූ බව නුවරඑළිය තේරීම් භාර නිලධාරි නන්දන ගලබඩ පවසයි.

වලපනේ ප්‍රදේශයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ පැවැත්වීමට සුදානම් කෙරුණු රැස්වීමක්ද ඊයේ අත්හිට වූ බව ඔහු සඳහන් කරයි.

ඡන්ද මධ්‍යස්ථාන ආසනයේ රැස්වීම් පැවැත්වීම මැතිවරණ නීතිය අනුව තහනම් වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන දෙසීයක් පමණ ක්‍රියාත්මක විය.

ඡන්දය ප්‍රකාශවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය කළ විමසුමකදී අදහස් දකවා ඇති නන්දන ගලබඩ පවසා ඇත්තේ, ඡන්දදායකයන්ගෙන් සියයට අනූවකට වැඩි පිරිසක් ඡන්දය භාවිත කර ඇති බවයි.

ඡන්ද විමසීම කෙරුණු කාලයේදී සුළු සුළු සිද්ධි හැරුණු කල බරපතළ සිදුවීම් කිසිවක් වාර්තාවී නැතැයිද ඔහු ප්‍රකාශ කර තිබේ.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී මැතිවරණ කාර්යාල සහ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිට ඒවා නතරකිරීමට පියවර ගන්නැයි තේරීම්භාර නිලධාර්වරයා පොලිසියට උපදෙස් ලබාදී ඇත.

එසේම ප්‍රචාරක කටයුතු සඳහා පෙළපාළි සහ ලොකු කණ්ඩායම් වශයෙන් ගෙන්ගෙට යෑමද නතර කරන ලෙස හෙතෙම උපදෙස් දී තිබේ.