December 9, 2024

රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සිංහ ධේනුවන් දෙදෙනකු සිංහ පැටවුන් 06 දෙනකු ප්‍රසූත කර ඇති අතර එම පැටවුන් මේ මස අවසන් වන විට ජනතා ප්‍රදර්ශනයට එක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව රිදියගම සෆාරි උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ කසුන් හේමන්ත පවසයි.

මෙවර සිංහ පැටවුන් තිදෙනා බැගින් උපත ලබා ඇත්තේ වයස අවුරුදු 10ක් පමණ වන ලාරා නමැති සිංහ ධේනුවට හා ඇයගේ දියණියක වන ඩෝරා නමැති අවුරුදු 04ක් වයසැති සිංහ ධේනුවටයි.

මෙම ඩෝරා නමැති සිංහ ධේනුව පිළිබඳව පසුගිය කාලයේ මුළු රටේම ජනතාව එක්ව කතාබහට ලක්වූ සිංහ ධේනුවකි.

ලාරා නමැති සිංහ ධේනුව විසින් ඩෝරා බිහිකළ පසු කිරි නොදී මව විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යාවරුන්ගේ හා සත්ත්ව භාරකරුවන්ගේ උවටැන් යටතේ හැදීවැඩුණු ඩෝරා හැදී වැඩී තිබේ.

එම සිංහ ධේනුව මෙවර පැටවුන් තිදෙනකු බිහිකර ඇති අතර, ඩෝරා මවගෙන් ප්‍රතික්ෂේප වූ නමුත් පැටවුන් බිහිකළ ඩෝරා සිය පැටවුන් නිසිපරිදි බලාගැනීම සිදුකරන බව පැවැසේ.

මේ වන විට රිදියගම සෆාරි උද්‍යානයේ සිංහයන් 18 දෙනෙක් සිටිති.

අලුත උපන් පැටවුන් 06 දෙනාම නිරෝගිමත්ව සිටින අතර මේ මස අවසන් වන විට සංචාරකයන්ට මෙම සිංහ පැටවුන් නැරැඹීමට අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇති බවත් සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.(මව්බිම)

42.31%
17.27%
32.76%