42.31%
17.27%
32.76%
October 18, 2023

වෙඩි ප්‍රහාරයකට ලක් වී සිටින සීතා ඇතින්නට ඊයේ (17) සිදුකළ දෙවැනි ශල්‍යකර්මයේදී ඇයගේ සිරුර තුළ තිබී යකඩ බෝලයක් හා ඊයම් කැබලි කිහිපයක් හමු වූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල පවසයි.

මේ වනවිට ඇතින්න ගාල්කර ඇති රණවන ප්‍රදේශයේදී මෙම ශල්‍යකර්මය සිදු කර ඇති අතර, ඒ සඳහා පැය හතරකට ආසන්න කාලයක් ගතව ඇත.

මහාචාර්ය අශෝක දංගොල්ල මෙසේද සඳහන් කරයි.

”මේ සතාට වෙඩි වැදිලා මේ වෙනවිට දින 18ක් පමණ වෙනවා. අපිට දක්නට ලැබෙන ආකාරයට මේ ඇතින්නගේ ශරීර සෞඛ්‍යයේ දුර්වල තත්ත්වයන් උද්ගත වෙමින් පවතිනවා. මේ තත්ත්වය මත තමයි අපි අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ඇතින්නගේ ශරීරය තුළ ඇති තවත් ලෝහ කොටස් ඉවත්කිරීම සඳහා අවසර දෙන්න කියලා. අධිකරණයෙන් ඒ ඉල්ලීමට ලද අවසරය මත තමයි මේ ශල්‍යකර්මය සිදුකළේ. මෙහිදී මේ සත්ත්වයාගේ පපුව ආසන්නයේ තිබී යකඩ බෝලයක් මෙන්ම තවත් ඊයම් කොටස් අපට හමුවුණා. දැන් අපිට විශාල සැකයක් තියෙනවා ඇතින්නගෙ පපුව තුළ එනම් උරස් කුහරයේ හෝ පෙණහැල්ලේ නැතිනම් ඒ ආශ්‍රිතව තවත් යකඩ බෝල තිබෙනවා කියන එක.

නමුත් කනගාටුවට කරුණ තමයි නිත්‍ය වශයෙන්ම මේ යකඩ බෝල තියෙනවද කියලා සොයා ගැනීමේ හැකියාවක් දැනට අපිට නෑ. ඒ සඳහා අවශ්‍ය උපකරණ හෝ නිසි ක්‍රමවේදයක් අප සතුව නෑ. ඒක ඉතාමත් අයහපත් තත්ත්වයක්. තවත් ලෝහ කැබලි සතාගෙ ශරීරයේ තියෙන්න පුළුවන් කියලයි අපි හිතන්නේ. දැන් සතා සුපුරුදු පරිදි ආහාර ගැනීමේ නිරත වුණත් ඇගේ ශරීර සෞඛ්‍ය යම් ආකාරයකින් දුර්වල වෙමින් පවතින බව අපිට පේනවා. අපි ඒ සම්බන්ධයෙන් හැකි උපරිමයෙන් ප්‍රතිකාර කටයුතු කරනවා.”

ශල්‍යකර්මය සිදුකළ අවස්ථාවට පශු වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායමක්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්, මහනුවර මූලස්ථාන පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් සහ මහියංගණ පොලිසියේ නිලධාරීන් පිරිසක් එක්ව ඇත.(Mawbima)

42.31%
17.27%
32.76%