May 3, 2024

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) තවත් ප්‍රකාශයක් ලබාදී ඇත.

ආසන්න වශයෙන් පැය දෙකක පමණ කාලයක් පැවති මෙම ප්‍රකාශය ලබාදීම මගින්, බෝම්බ පිපිරවීම් පිටුපස සිටින මහමොළකරු සම්බන්ධයෙන් ඔහු කළ පෙර ප්‍රකාශය පිළිබඳව වැඩිදුර තොරතුරු සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ.

පසුගිය මාර්තු මාසයේදී මෛත්‍රීපාල සිරිසේන කියාසිටියේ පාස්කු ප්‍රහාරය සැබවින්ම කළේ කවුරුන්ද යන්න තමන් දන්නා බවත්, එම තොරතුරු අධිකරණයට හෙළිකිරීමට තමන් සූදානම් බවත්ය.

මහනුවරදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සිරිසේන කියාසිටියේ මේ සම්බන්ධයෙන් අධිකරණය ඉල්ලීමක් කළහොත් හෝ නියෝගයක් නිකුත් කළහොත් තොරතුරු හෙළිකරන බවයි.

පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරු කවුරුන්ද යන්න මෙතෙක් කිසිවකු හෙළිකර නොමැති බව සඳහන් කළ සිරිසේන, ඒ පිළිබඳ තොරතුරු හෙළිකිරීමට තමන් සූදානම් නමුත් එම තොරතුරු දැඩි ලෙස රහසිගතව තබාගැනීම විනිසුරුවරුන්ගේ වගකීම බව ද ප්‍රකාශ කළේය.

ඔහුගේ හෙළිදරව්වෙන් පසු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, සිරිසේනගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කළේය.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ මූලික ප්‍රකාශයේදී හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය මෙහෙයවූයේ ඉන්දීය ඔත්තු බැලීමේ ආයතනය වන පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය (RAW) විසින් බව හෙළිකර ඇතැයි ජනමාධ්‍ය ඔස්සේ වාර්තා විය.

එවකට කොළඹ ස්ථානගතව සිටි ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු නම් කරමින් සිරිසේන වැඩිදුරටත් පවසා ඇතැයි කියැවෙන්නේ, ඉන්දියාවට කිසිදු ව්‍යාපෘතියක් ලබාදීමට ශ්‍රී ලංකාව එවකට සැළකිල්ලක් නොදැක්වීම ඊට හේතුව බවයි.

42.31%
17.27%
32.76%