April 8, 2024

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ප්‍රධානත්වයෙන් නීතිවිරෝධී දේශපාලන මණ්ඩල රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර තිබේ.

මෙම රැස්වීම කැඳවා තිබුණේ නිමල් සිරිපාල ද සිල්වා විසින් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව දේශපාලන මණ්ඩලය කැඳවීමේ පූර්ණ බලය ඇත්තේ පක්ෂයේ සභාපතිවරයාට බවටත් ඔහු පවසයි.

දිසා අධිකරණයෙන් ලබාදුන් අතුරු තහනම් නියෝගයට අනුව දැනට පක්ෂයේ සභාපතිවරයකු නොමැති අතර මේ තත්ත්වය යටතේ පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස කෙරෙන ඕනෑම පත්කිරීමක් අධිකරණ තීන්දුවකට අනුව සිදුකිරීමට සිදුවන බව වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල සිය නිවේදනයෙන් කියාසිටී.

දේශපාලන මණ්ඩලයේ නීත්‍යනුකූලව සහ ව්‍යවස්ථාපිතව පත්කළ සාමාජිකයන් වන්නේ මෛත්‍රීපාල සිරිසේන, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, නිමල් සිරිපාල ද සිල්වා, නීතිඥ කිර්ති උඩවත්ත, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, වෛද්‍ය චමිල ලියනගේ, ජනාධිපති අධිනීතිඥ ෆයිසර් මුස්තාෆා, කේ.පී. ගුණවර්ධන, හෙක්ටර් බෙත්මගේ, වීරකුමාර දිසානායක, සජින් ද වාස් ගුණවර්ධන, සරත් ඒකනායක, මෙත්සිරි ද සිල්වා, ඉන්දික රාජපක්ෂ සහ නීතිඥ ලක්මාල් වික්‍රමාරච්චි යන පිරිස බව ඔහු පෙන්වා දෙයි.

අවසන් වරට දේශපාලන මණ්ඩල රැස්වීම පැවැත්වුණේ 2024 මාර්තු 31 වැනිදා වන අතර ඊට නිමල් සිරිපාල ද සිල්වා සහභාගී වූ බව ඔහු ප්‍රකාශකර ඇත.

නිමල් සිරිපාල ද සිල්වා 2024 මාර්තු 31 වැනි දින නීත්‍යනුකූලව පවත්වන ලද රැස්වීමට සහභාගි වී තිබියදීත් අද නීති විරෝධී දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති බව වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල සිය නිවේදනයෙන් පවසා ඇත.

අද පැවති නීතිවිරෝධී දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු විශාල පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් නොවන බව ද ඔහු ප්‍රකාශකර ඇත.

අද සිදු කර ඇති නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නීතිමය රාමුව තුළ ලබා දී ඇති අදාළ අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන බව ද අඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%