October 21, 2023

චීනය විසින් ඉදිකරන ලද හම්බන්තොට වරාය ආශ්‍රිත ආයෝජන කලාපයේ ඩොලර් බිලියන 04ක ආයෝජනයක් වන යෝජිත තෙල් පිරිපහදුව සඳහා ටෙන්ඩරය සති තුනක් ඇතුළත ප්‍රදානය කරන බව අනාවරණය වේ.

මෙම වසර මුලදී අදාළ ව්‍යාපෘතිය පිළිබඳව නිවේදනය කිරීමෙන් අනතුරුව, ඊට සමාගම් 07ක් ප්‍රතිචාර දක්වා ඇති අතර, එම සමාගම් අතුරින් චීනයේ සයිනොපෙක් සහ සිංගප්පූරුව පදනම් කරගත් විටෝල් ඒෂියා මේ වන විට රජය විසින් තෝරාගෙන ඇතැයි වාර්තා වේ.

දැනටමත් සිල්ලර ඉන්ධන සැපයීම ආරම්භ කර ඇති සහ ඉන්දියන් ඔයිල් කෝපරේෂන් හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LIOC සමඟ තරඟ කරන චීනයේ සයිනොපෙක් සමාගමට මෙම පිරිපහදුව පිරිනැමීමට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

නයිජීරියාවේ Grant & Shearer Ltd, චීනයේ Sinopec, මැලේසියාවේ Petrichor Capital, සිංගප්පූරුවේ Vitol සමූහය, ඉරානයේ Martin Tejarat, දේශීය සමාගමක් වන Dandeniya Engineering Sales and Service Syndicate සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Marka Invest සමඟ ශ්‍රී ලංකාවේ Harree Management එකාබද්ධව මෙම වසර මුලදී මෙම ටෙන්ඩරය ලබාගැනීමට කැමැත්ත පළකර තිබිණි.