October 7, 2023

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් කළායැයි කියන සිද්ධියට අදාළව කාන්තා හා ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමැතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් සම්බන්ධ නඩුවෙන් ඇය නිදහස් කිරීමට නීතිපති උපදෙස් ලැබී ඇතැයි අපරාධ බුද්ධි විශ්ලේෂණ නිවාරණ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ ඊයේ (06) කරුණු වාර්තා කර ඇත.

මෙම සැකකාරිය සම්බන්ධයෙන් මින් ඉදිරියට නීති මඟින් කටයුතු කිරීමට අදහස් නොකරන බවත්, ඇය නිදහස් කළ හැකි බවත්, සඳහන් කරමින් නීතිපතිවරයා ඉකුත් 02 වැනිදා තම කොට්ඨාසයට ලිඛිතව උපදෙස් දුන් බවද අපරාධ බුද්ධි විශ්ලේෂණ නිවාරණ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව සැකකාරියට ලබන 19 වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙසට නියෝග කරමින් අධිකරණ සිතාසි නිකුත්කර ඇත.

මෙම සිද්ධියට අදාළව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය ඇමැතිවරිය රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස අධිකරණ මඟින් නියෝග නිකුත් කළේ ඉකුත් 2018 වර්ෂයේ ඔක්තෝබර් 08 වැනිදා ය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල පොලිස් සහන මැදිරිය වෙත සිදුකර තිබුණේ සිංහල රාවය ජාතික ව්‍යාපාරයේ ජාතික සංවිධායක සහ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි, සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු ප්‍රේමනාත් සී. දොලවත්ත සහ සිංහල ජාතික සංවිධානයේ සභාපති ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රසාද් යන අය විසිනි.

ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වැනි වගන්තිය ප්‍රකාරව පොලිස්පතිවරයා විසින් මෙම් පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත භාර දී තිබේ.

යාපනය වීරසිංහම් ශාලාවේ පැවැති රාජ්‍ය උත්සවයක දී කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් විසින් ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ, 2019 ජුනි 02 වැනිදා ය.

උතුර නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට භීතියකින් තොරව නිදහසේ ජීවත්වීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු යැයි ඇය එම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කර ඇත්තේ, ජනාධිපති ජනතා සේවය වැඩසටහනේ අටවැනි වැඩසටහනට එක් වෙමිනි.

42.31%
17.27%
32.76%