September 24, 2023

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) සහාය ඉල්ලමින් යොමුකරන ලද ලිපියක අන්තර්ගතය හිතාමතාම වෙනස් කරමින්, අදාළ ලිපියේ අරමුණු වෙනස් කර ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සභාපති අජිත් නිවාඩ් කබ්රාල්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ බරපතල චෝදනා එල්ලවී තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් විසින් මෙලෙස වෙනස්කර ඇති බව පැවසෙන්නේ, 2022 මාර්තු 18 වැනි දින අන්තර්ජාතික මූල්‍ය අරමුදලට (IMF) යවන ලද ලිපියකි.

ශ්‍රී ලංකාවට පැහැදිලිවම ආධාර අවශ්‍ය මොහොතක, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය තවදුරටත් ප්‍රමාද කරවීම මෙම ලිපිය වෙනස් කිරීමෙන් සිදුකර ඇති බවට කබ්රාල්ට චෝදනා එල්ල වී ඇත.

වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් සහ පසුගිය ආණ්ඩුවේ ප්‍රමුඛ පෙළේ නිලධාරීන් වගකිවයුතු බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති SC FR 195/2022 සහ SC FR 212/2022 යන අංක දරන මූලික අයිතිවාසිකම් අයදුම්පත් දෙක ඔස්සේ මෙම කරුණ අනාවරණය කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් මුදල් මණ්ඩලයේ සාමාජික ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන චෝදනා කර ඇත්තේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා වෙත 2022 මාර්තු 18 වැනි දින යවන ලද ලිපිය මුලින් කෙටුම්පත් කරන ලද්දේ එවකට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ.එම්. මහින්ද සිරිවර්ධන බවත්, ශ්‍රී ලංකාව “අරමුදල් සහිත වැඩසටහනක්” සොයන බව පැහැදිලි සහ සරල භාෂාවෙන් එහි ප්‍රකාශ කර තිබුණු බවයි.

කෙසේ වෙතත්, වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු අනාවරණය කර ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ අවසන් කෙටුම්පත කබ්රාල් විසින් හිතාමතාම සංශෝධනය කර, ලිපියේ මුල් අරමුණ විකෘති කර, IMF වෙතින් සහාය ඉල්ලීම වෙනුවට වෙනත් කරුණු ඉස්මතු කෙරෙන ආකාරයෙන් වෙනසකට ලක්කර ඇති බවයි.

2022 මාර්තු 18 දිනැති ලිපිය අන්තර්ජාතික මූල්‍ය අරමුදලට මිශ්‍ර සංඥා යවා ඇති අතර, IMF වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාව කැපවී නොමැති බව පෙන්වා දී ඇති බවද ඔහු පෙන්වාදෙයි.

ඉහත සඳහන් ලිපි දෙකම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

කබ්රාල් ඇතුළු රාජපක්ෂ රෙජීමයේ හිටපු නිලධාරීන් හිටපු ජනාධිපතිවරයා වටා ‘චීන පවුරක්’ නිර්මාණය කර ආර්ථිකයේ සැබෑ තත්ත්වය ඔහුට වසන් කළ බවටද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම්වලට අනුව චෝදනා එල්ල වී තිබේ. (Sunday Morning)