June 21, 2023

දැනට පවතින නීතිය යටතේ ජනමාධ්‍ය ආයතනවලට ලබාදෙන බලපත්‍රය ඕනෑම අවස්ථාවක අවලංගු කිරීමේ බලය ජනමාධ්‍ය ඇමැතිවරයාට ඇති අතර, එම බලය ඉවත් කිරීමට යෝජනාවක් ගෙනෙන බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර සඳහන් කරයි.

මෙම නීතිය යටතේ බලපත්‍ර අවලංගු කිරීම සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා පවසයි.

එබැවින් නව පනත යටතේ බලපත්‍ර අවලංගු කිරීමට විෂයභාර ඇමැතිවරයාට තවදුරටත් අයිතියක් නැතැයිද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර ඇත.

යෝජිත ව්‍යවස්ථාව හරහා ජනමාධ්‍ය මෙල්ල කිරීමට ජනාධිපතිවරයා සහ රජය අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය චෝදනා කරනා බවත්, ජනමාධ්‍ය මෙල්ල කිරීම සඳහා නීති සම්පාදනය නොකරන බවත්, ඔහු සඳහන් කරයි.

නව ව්‍යවස්ථාව හරහා ජනාධිපතිවරයා කිසියම් රූපවාහිනී නාලිකාවකින් පළිගැනීමට සැරසෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කළ චෝදනාවද රාජ්‍ය ඇමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

විකාශන අධිකාරියක් පිහිටුවීමට අදාළ සංකල්ප පත්‍රිකාව දැනටමත් සංශෝධනය කර ඇතැයි හෙතෙම වැඩිදුරටත් පවසයි.