January 6, 2024

රයිගම රාජධානියට අයත් බව කියන ඓතිහාසික ලෙනවර, රජමහා විහාරස්ථානයට ආසන්න නිවෙසක නිදන් ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි 07 දෙනකු කැණීම් උපකරණ සමග අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතර නිවෙස් හිමි කාන්තාවගේ සැමියා, පියා සහ සහෝදරයාද වන බව පොලිසිය පවසයි.

සැකකරුවන් සමග අලවංගු දෙකක්, උදලු දෙකක්, පස් ඇදීමට යොදාගත් බොලොක්ක දෙකක්, දම්වැල් දෙකක්, තාච්චි හතරක් හා ආරක්ෂාවට බව පවසා
නිවෙස වටා ඇද තිබූ සුදු නූල් පොලිස් භාරයට ගෙන ඇත.

මිල්ලනිය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් යතුරුපැදි සංචාරයේ යෙදී සිටියදී ලද තොරතුරකට අනුව එම නිවස වෙත ගොස් කළ පරීක්ෂාවේදී මේ බව අනාවරණය වී තිබේ.

නිවෙස් හිමි කාන්තාවගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී වැසිකිළි වළක් කපන බව පැවසුවද එය මුසාවක් බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පවසා ඇත.

සම්පූර්ණ කොටස් තුනකින් යුත් නිවෙසේ සාලයේ කොටස කඩා නිදන් ගැනීම සඳහා කැණීම් කර ඇති බවටද වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි.

අඩි දහය හා පහළොව ප්‍රමාණයේ වට ප්‍රමාණයකින් යුත් අඩි දහයක් පමණ ගැඹුරට කැණීම්කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙය පිටතට පෙනීම වැළැක්වීම සඳහා තහඩු සහ ඉටිකොළ යොදා ආවරණය කර තිබු බවද පොලිසිය කියයි.

සැකකරුවෝ. පුරාවස්තු ආඥා පනත යටතේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

42.31%
17.27%
32.76%