April 3, 2024

ගායක සේනක බටගොඩට ගීත හතක් ගායනා කිරීම වළකාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඊයේ (02) වාරණ නියෝගයක් නිකුත් කළේය.

‘අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීන වලට පණක් තියෙනවා, හොඳම දේ සහ සැනසෙන්නම් මා’ යන ගීත 7 ගායනා කිරීම වළකාලමින් කොළඹ වාණිජ මහාධිකරණය ලබන 16 වැනිදා දක්වා බලපැවැත්වෙන අන්දමට අදාළ වාරණ නියෝගය නිකුත් කළ විනිසුරුවරයා පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එකී ගීත වෙනත් පාර්ශ්ව වෙත ලබාදීමද වාරණය කළේය.

එම ගීතවල පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය කළැයි කියන ජනත් කුලතිලක ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අදාළ වාරණ නියෝගය නිකුත් කළේය.

ජනත් කුලතිලක ගෙනුකළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් සේනක බටගොඩ නම් කරනු ලැබ සිටී.

තමන් විසින් පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය කළ අදාළ ගීත වගඋත්තරකරු ගායනා කරමින් අයුතු ලෙස ලාභ උපයන බව සඳහන් කර තිබේ.

තමාගේ ගීත සම්බන්ධයෙන් ඇති බුද්ධිමය දේපළ හිමිකම කිසිදු අයකුට උල්ලංඝනය කිරීමට හැකියාවක් නැති හිමිකමක් බවත්, වගඋත්තරකරු තමාගේ බුද්ධිමය දේපළ හිමිකම උල්ලංඝනය කර ඇති බවත් සඳහන් කරන පෙත්සම්කරු, තමාගේ ගීත ගායනා කිරීම වළකාලන නියෝගයක් වගඋත්තරකාර සේනක බටගොඩ නමැත්තාට පනවන්නැයි ඉල්ලීමක්ද කළේය.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ වාරණ නියෝගය නිකුත් කළ වාණිජ මහාධිකරණ මහාධිකරණ විනිසුරුවරයා මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් පෙත්සම යළි කැඳවන ලබුන 16 වැනිදා ඉදිරිපත් කිරීමටද නියම කළේය.(ලංකාදීප)