July 6, 2023

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පාර්ලිමේන්තුවේ ඕනෑම කාරක සභාවක රැස්වීම්වලට සහභාගි වන නිලධාරීන් සාකච්ඡාවට භාජනය වන විෂයයන් පිළිබඳ අදාළ දැනුමෙන් සන්නද්ධ විය යුතු අතර කාරක සභාව විසින් ඉල්ලා සිටින විට තොරතුරු සැපයීමට සූදානම් විය යුතු බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මහලේකම් වෙත පිටපත් සහිතව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අද (06) ලිඛිතව මෙම දැනුම් දීම සිදු කරනු ලැබ තිබේ.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන රැස්වීමකට  විපක්ෂ නායකවරයා රාජ්‍ය නිලධාරීන් කැඳවීමට අදහස් කරන්නේ නම්, ඔහු විසින් එම විෂයට අදාළ අමාත්‍යවරයාව ලිඛිතව දැනුවත් කළ යුතු අතර, ඊට අනුකූලව  එම රැස්වීම්වලට සහභාගී වීමට නිලධාරීන්ට අවසර ලබා දෙනු ඇත.

මුදල් හා සම්බන්ධ අධීක්ෂණ කාරක සභා සඳහා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවූ විට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව රැස්වීම්වලට සහභාගි විය යුතු බව ජනාධිපති ලේකම්වරයා සිය ලිපියෙන් දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම්වරයා මෙවන් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත්තේ විපක්ෂනායකවරයාට ඕනෑම නිලධාරියෙක් පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයට කැඳවීමට අවසර ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවේදී දැනුම් දුන් පසුබිමකයි.

රජයේ මුදල් කාරක සභාවේදී තමන්ට ප්‍රශ්න කිරීමට අවසර ලබා නොදීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වරප්‍රසාද ප්‍රශ්නයක් ගොනු කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (ජුලි 05 වැනිදා) දැනුම් දුන්නේ විපක්ෂනායකවරයා කාරක සභා රැස්වීම් සඳහා සහභාගී වීම යෝග්‍ය නොවන බවයි.

ඒ වෙනුවට ඕනෑම නිලධාරියෙක් පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයට කැඳවා අවශ්‍ය තොරතුරු විමසීමේ අයිතිය විපක්ෂනායකවරයාට ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

කමිටුවලට සහභාගී නොවී එම අයිතිය භාවිත කරන ලෙස කතානායකවරයා ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේ අදහස් පළ කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබුණු බව පවසමින් එය නතර නොකළ යුතු බවයි.

කිසිවෙකුගේ බලපෑම මත නිලධාරීන්ට නොපැමිණ සිටිය නොහැකි බවත් එසේ වුවහොත් එය තමන්ගේ වරප්‍රසාද කඩවීමක් බවත් සජිත් ප්‍රේමදාස එහිදී පැවසීය.