September 14, 2024

රජයේ පාසල්වල සිසුන් සංඛ්‍යාව පසුගිය වසර හයේදී තුන් ලක්ෂ තිස්දෙදහස් අසූහතරකින් (332,084) අඩුවී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාවලින් පෙනීයන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

රජයේ පාසල්වල 2018 වර්ෂය වනවිට ළමුන් 4214772ක් සිටියද පසුගිය වර්ෂය වනවිට එම සංඛ්‍යාව 3882688ක් දක්වා පහත බැස තිබූ බවද ඔහු පෙන්වාදෙයි.

මේ අතර රජයේ පාසල් සංඛ්‍යාවද එම කාල සීමාවේදී 79කින් අඩුවී ඇතැයිද ඔහු සඳහන් කරයි.

රජයේ පාසල් 10175ක් පසුගිය 2018 වර්ෂයේදී පැවැති නමුත් 2023 වර්ෂය වන විට එය 10,096ක් දක්වා අඩුවී තිබූ බව පවසන මහාචාර්යවරයා පාසල්වල ගුරුවරුන් සංඛ්‍යාවද පසුගිය වසර හයේදී 9,547 කින් අඩුවී ඇතැයි ප්‍රකාශ කරයි.

ගුරුවරුන් 2018 වර්ෂයේදී 247334ක් සිටි නමුත් එම සංඛ්‍යාව 2013 වර්ෂයේ දී 237787ක් දක්වා පහත බැස තිබූ බව හෙතෙම පෙන්වාදෙයි.

කෙසේවෙතත් පෞද්ගලික පාසල් සංඛ්‍යාව එම කාලසීමාවේදී පහළොවකින් වැඩිවී ඇතැයි පෙන්වාදෙන මහාචාර්ය වසන්ත අතුකෝරළ 2018 වර්ෂය වන විට තිබූ පෞද්ගලික පාසල් 80 පසුගිය වර්ෂය වන විට 95ක් දක්වා වැඩි වී තිබූ බවද සඳහන් කරයි.

මේ අතර ළමයි පනහට අඩු පාසල් 2018 වර්ෂයේදී 1480ක් තිබී ඇත.

පසුගිය වර්ෂය වන විට එම සංඛ්‍යාව 1506ක් දක්වා වැඩිවී තිබූ බවත් ළමයින් 51-100 අතර පාසල් 2018 වර්ෂයේදී 1530 ක් තිබුණ නමුත් පසුගිය වර්ෂය වන විට එම සංඛ්‍යාව 1638 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් මහාචාර්ය අතුකෝරළ සඳහන් කරයි.

දරුවන් 200 අඩු පාසල් 2018 වර්ෂයේදී 5138ක් තිබූ අතර ගිය වර්ෂය වනවිට එම සංඛ්‍යාව 5262ක් දක්වා ඉහළ ගොස් තිබූ බවද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන් වන බව මහාචාර්යවරයා කියයි.

ආර්ථික සමාජීය වෙනස්වීම් මෙන්ම ජන සංක්‍රාන්තියේ වෙනස්වීම්ද මේ තත්ත්වයට හේතුවන්නට ඇතැයි සමාජ විද්‍යාඥයෝ විශ්වාසය පළකරති.

(ලංකාදීප)