May 19, 2024

කොළඹ මහාධිකරණය විසින් හිටපු මුදල් ඇමැති රවී කරුණානායකට සහ ව්‍යාපාරික අර්ජුන් ඇලෝසියස්ට එරෙහි අල්ලස් නඩුව විභාග කිරීම වළක්වාලමින් දී තිබූ අභියාචනාධිකරණ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබේ.

ඇලෝසියස්ට අයත් බව කියන සමාගමක් විසින් රවී කරුණානායක නැවතී සිටි සුඛෝපභෝගී මහල් නිවාසයක් සඳහා බදු ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා තිබිණි.

මහාධිකරණ නඩු විභාගය ආරම්භයේදී මූලික විරෝධතාවක් ඉදිරිපත් කරමින් කරුණානායකගේ නීතීඥවරු තර්ක කළේ කැබිනට් ඇමැතිවරයකු වූ තම සේවාදායකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව “රාජ්‍ය සේවකයකු” ලෙස සැළකිව නොහැකි බැවින් නඩුව ඉදිරියට ගෙන යෑමට නොහැකි බවයි.

එහෙත් පැමිණිල්ල මෙම තර්කයට විරුද්ධ විය.

පසුව එම මූලික විරෝධතාව නිෂ්ප්‍රභ කළ මහාධිකරණය නඩු විභාගය පවත්වාගෙන යන ලෙස පැමිණිල්ලට නියම කළේය.

කෙසේවෙතත්, රවී කරුණානායක අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර, එමගින් කොළඹ මහාධිකරණයට අදාළ නඩුව විභාග කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණි.

අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා කිරීමට විශේෂ අවසරයක් ගොනු කරන ලදී.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ දිස්න ගුරුසිංහගේ සහාය ඇතිව අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර තර්ක කළේ, අතුරු නියෝගයක් වන මහාධිකරණ නියෝගයට එරෙහිව කරුණානායකට අභියාචනාධිකරණයේ අවසරයක් ගොනු කළ නොහැකි බවයි.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ නියෝගය අත්හිටුවමින් ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියමිත කාල සීමාව තුළ ලිඛිත දේශන ගොනු කරන ලෙස ද පාර්ශවකරුවන්ට නියම කළ අධිකරණය සැප්තැම්බර් 4 වැනිදා කරුණු දැක්වීමට නියම කළේය.

42.31%
17.27%
32.76%