June 14, 2023

සූපවේදී පබිලිස් සිල්වාගේ කෘතියක ප්‍රකාශන හිමිකම සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේය.

මෙම තීන්දුව පබිලිස් සිල්වාට, ප්‍රකාශකයන් සහ අනෙකුත් සියලුම සම්බන්ධිත පක්ෂව ලබාදී ඇත.

සූපවේදී පබිලිස් සිල්වාගේ ‘ගල්කිස්ස හෝටලයේ පබ්ලිස් සිල්වගේ හෙළ රට වට ඉවුම් පිහුම්’ නමැති සිංහල පොතේ ප්‍රකාශන හිමිකම සම්බන්ධයෙන් 2013 වසරේ වාණිජ මහාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව නඩුවේ විත්තිකාර අභියාචනාකරු සරසවි ප්‍රකාශකයෝ (පෞද්ගලික) සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.

මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙහිදී කතුවරයාට (සූපවේදී පබිලිස් සිල්වාට) සහ සරසවි ප්‍රකාශකයන්ට පක්ෂව එම තීන්දුව ප්‍රකාශ කර තිබේ.

සම්පාදකයාට අවශ්‍ය තොරතුරු සපයමින් සම්මුඛ සාකච්ඡා මාලාවකින් පසුව ඔහු විසින් විස්තර කළ පරිදි, පොත සම්පාදනය කර ඇත්තේ සිංහල පුවත්පතක හිටපු කර්තෘ ධර්මා එස්. සමරනායක යි.

ඇයගේ සේවාවන් සඳහා ගාස්තු සූපවේදී පබිලිස් සිල්වාගේ ඉල්ලීම පරිදි සරසවි ප්‍රකාශකයන් විසින් ඇයට ගෙවා ඇත.

මෙම පොත මුලින්ම ප්‍රකාශයට පත් කර ඇත්තේ 2005 වසරේදී ය.

පොතේ ප්‍රකාශන අයිතිය සම්පූර්ණයෙන්ම සූපවේදී පබිලිස් සිල්වා සතු වූ අතර, පොතේ හිමිකරු ලෙස ඔහු සරසවි ප්‍රකාශකයන් සමඟ ගිවිසුමකට එළැඹ තිබේ.

එම ගිවිසුමේ කොන්දේසි මත සරසවි ප්‍රකාශකයෝ සූපවේදී පබිලිස් සිල්වාට කර්තෘභාග ගෙවා ඇත.

2008 දී එහි හයවන සංස්කරණයෙන් පසු ධර්මා එස්. සමරනායක විසින් පොතේ කතුවරිය තමන් බවත්, එබැවින් සරසවි ප්‍රකාශකයන් ඇයට කර්තෘභාග ගෙවිය යුතු බවත්, පවසමින් සරසවි ප්‍රකාශකයන්ට එරෙහිව මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.

ප්‍රකාශන අයිතිය ධර්මා එස්. සමරනායක සතු වන බවට මහාධිකරණය එහිදී ඇයට පක්ෂව තීන්දුවක් ලබා දී ඇත.

ප්‍රකාශකයන්ට පොත ප්‍රකාශනය කිරීම, බෙදාහැරීම, සන්තකයේ තබාගැනීම සහ විකිණීම වළක්වමින් ස්ථිර වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එසේම, බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන යටතේ සම්පාදකයාට ගෙවීමක් කරන ලෙස අධිකරණය ප්‍රකාශකයාට නියෝගයක් ලබා දී තිබේ.

කෘතියේ කතෘ, හිමිකරු සහ ප්‍රකාශන හිමිකරු වන්නේ ධර්මා එස්. සමරනායක නොවන බවට, අභියාචනය විභාග කිරීමෙන් පසු, සියලු පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි සහ ඉදිරිපත් කිරීම් සලකා බැලීමෙන් සහ මහාධිකරණය විසින් ලබාදුන් පූර්ව තීන්දුවද පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව ප්‍රකාශ කළේය.

ඒ අනුව, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව මහාධිකරණ තීන්දුව ප්‍රතික්ෂේප කරන ලෙසත්, සම්පාදක තැනැත්තිය විසින් කරන ලද පැමිණිල්ල නිෂ්ප්‍රභ කිරීමටත් ඒකමතික තීන්දුවක් ලබා දී ඇත.