October 18, 2023

තමා නඩුවකින් නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබියදීත් දින තුනක් බන්ධනාගාරගත කර තැබීම සම්බන්ධයෙන් පුද්ගලයකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර ලබා දුන්නේය.

අදාළ පෙත්සම ගොනුකර තිබුණේ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බන්දුල සුදත්සිරි පෙරේරායි.

තමාට එරෙහිව එල්ලවී තිබූ මිනීමැරුම් චෝදනාවලින් අභියාචනාධිකරණය තමා නිදහස් කළ පසු බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට බන්ධනාගාර බලධාරීන් දින තුනක් ප්‍රමාද කිරීම ඔහු සිය පෙත්සම මගින් අභියෝගයට ලක්කර තිබේ.

එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය ප්‍රකාරව නීතිය ඉදිරියේ සමානාත්මතාවට ඇති අයිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම පෙත්සම ඉදිරියට ගෙනයෑමට අවසර විනිසුරු මඩුල්ල අවසර ලබා දී ඇත.

මිනීමැරුම් චෝදනාවකට හෝමාගම මහාධිකරණය විසින් තමා වරදකරු කර 2019 ජූනි 05 වැනිදා මරණ දඬුවම නියම කළ බව පෙත්සම්කරු සිය පෙත්සමින් පෙන්වා දී තිබේ.

වරදකරු වීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි බවත්, පසුව අගුණකොලේපැලැස්ස බන්ධනාගාරයට මාරුකළ බවත් පෙත්සම්කරු පවසයි.

එම චෝදනාවට සහ දඬුවමට එරෙහිව තමන් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකළ බවත්, අභියාචනාධිකරණය මිනීමැරුම් චෝදනාවලින් තමා නිදොස් කොට නිදහස් කරමින් අත්අඩංගුවෙන් මුදාහරින ලෙස වගඋත්තරකරුවන්ට නියම කළ බවත් පෙත්සම්කරු පෙන්වාදී තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත්කළ දිනයේම අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් පෙත්සම්කරු අත්අඩංගුවෙන් මුදාහරින ලෙස වන නියෝගය විධිමත් ලෙස වගඋත්තරකරුවන්ට නිකුත් කළ බව පෙත්සම්කරු කියා සිටියි.

ඒ අනුව, අගුණකොලේපැලැස්ස බන්ධනාගාරයෙන් තමන්ව රැගෙන ඒමට තම සහෝදරයා හෝමාගම සිට පැමිණි බව ඔහු සිය පෙත්සමේ සඳහන් කර තිබේ.

තමාව බන්ධනාගාරයෙන් නිදහස් නොකරන්නේ මන්දැයි පෙබරවාරි 24 වැනිදා අගුණුකොලේපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයාගෙන් කරුණු විමසූ විට තමන් නඩුවෙන් නිදහස් කර නොමැති බව ඔහු දන්වා සිටි බවත් පෙත්සම්කරු කියා සිටියි.

සත්‍ය වශයෙන්ම තමා නිවැරදිකරු බව තහවුරුවී තිබියදීත් වගඋත්තරකරුවන් තමන්ව නීතිවිරෝධී ලෙස දින තුනක් රඳවාගෙන සිටි බවත් අවසානයේ දින තුනකට පසු තමා නිදහස් කළ බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වාදෙයි.

බොහෝ රැඳවියන් අධිකරණයෙන් නිදහස් කළ පසු මාස ගණනක් පවා දිගින් දිගටම අත්අඩංගුවේ තබා ගන්නා බව පෙන්වාදෙන පෙත්සම්කරු, නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ වහාම සිරකරුවන් නිදහස් කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බව වැඩිදුරටත් සඳහන් කරයි.

පෙත්සම්කරු කියාසිටින්නේ, බන්ධනාගාර බලධාරීන් විසින් ඔහුව නිදහස් කිරීමට අපොහොසත්වීම නීතිය ඉදිරියේ සමානාත්මතාවට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බවයි.

පෙත්සම ලබන වසරේ මැයි 27 වැනිදාට කැඳවීමට නියම කෙරිණි.

42.31%
17.27%
32.76%