April 18, 2025

පාස්කු ප්‍රහාර මාලාවට වසර 06 ක් ගතවෙමින් ඇති පසුබිමක් තුළ එම ප්‍රහාරයෙන් වින්දිතයින් වූ පුද්ගලයන්ට යුක්තිය ඉටුකරන ලෙසත්, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා රජයට බලපෑම් එල්ල වෙමින් තිබේ.

ඒ අනුව, 2019 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටුකිරීමේ අරමුණින් රජය ගෙන ඇති පියවර පිළිබඳව සමගි ජන බලවේගය කනස්සල්ල පළකර තිබේ.

එම පක්ෂය පවසන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය ලබා දී ඇති පොරොන්දුවලට අනුකූලව සැබවින්ම ඵලදායී වන පියවර ගැනීමට රජය අවධානය යොමු කළ යුතු බවයි.

ඊයේ කොළඹ පැවැති ජනමාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ද මේ සම්බන්ධයෙන් අදහස් පළකළේය.

ඔහු එහිදී පෙන්වාදුන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් නීතියේ රැහැනට හසුකර ගැනීමට රජය පියවර ගත යුතු බවයි.

ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටුකරන බවට ජනතාව මෙන්ම පාර්ශ්ව ගණනාවක් වත්මන් පාලනය කෙරෙහි විශ්වාසය තැබූ බැවින් රජය ඔවුන්ගේ පොරොන්දුව ඉටු කළ යුතු බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.

එමෙන්ම සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා එම ජනමාධ්‍ය හමුවේදී අදහස් පළකළේය.

එහිදී ඔහු පැවසුවේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ක්‍රියාමාර්ගයක් බව පෙන්වීමට රජය උත්සාහ කළ ද ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනීමැරුමක් සම්බන්ධයෙන් බවයි.

පිල්ලෙයාන් රඳවා තබාගැනීමට රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කළද එය අවලංගු කරන බවට රජය පොරොන්දු ලබාදුන් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසුවේය.

එමෙන්ම ඔහු අවධාරණය කළේ පිල්ලෙයාන් යම් වරදක් කර ඇත්නම් ඔහුට දඩුවම් දිය යුතු නමුත් ඒ සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හැර වෙනත් නීති ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබූ බවයි.