June 5, 2024

ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව තෙවැනි වතාවටත් ඉන්දීය අගමැති ධූරයට පත්වූ නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ.

ඒ, ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කිරීමෙන් පසුවයි.

සිය X ගිණුමෙහි පණිවිඩයක් නිකුත් කරමින් නරේන්ද්‍ර මෝදි, තමාගේ ජයග්‍රහණයෙන් පසු සුබ පැතුම් එක් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට ස්තූතිය පළකර ඇත.

“ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්වය සඳහා අපගේ අඛණ්ඩ සහයෝගීතාවය මම බලාපොරොත්තු වෙමි” යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් X ගිණුම හරහා මෝදි වෙත යොමුකරන ලද පණිවිඩයකට ප්‍රතිචාර දක්වමින් මෝදි පැවැසීය.

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ NDA සන්ධානය ජයග්‍රහණය කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමූ අතර, එය මෝදිගේ නායකත්වය යටතේ ප්‍රගතිය සහ සමෘද්ධිය පිළිබඳව ඉන්දීය ජනතාවගේ විශ්වාසය පෙන්නුම් කළ බව ද පවසා තිබේ.

සමීපතම අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පවසා ඇත.

“ඔබේ උණුසුම් සුභ පැතුම් වලට @sajithpremadasa ස්තුතියි! ශ්‍රී ලංකාව සමඟ අපගේ සබඳතා සුවිශේෂී සහ අද්විතීය සහෝදරත්වයකි. අපගේ අසල්වැසි පළමු ප්‍රතිපත්තියට අනුකූලව අපගේ නොබිඳිය හැකි බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට අපි කැපවී සිටිමු, ” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යොමුකරන ලද සුබ පැතුම් පණිවිඩයකට ප්‍රතිචාර දක්වමින් නරේන්ද්‍ර මෝදි පැවැසීය.

“ඔබේ ප්‍රාර්ථනාවට ස්තූතියි, මගේ මිතුරා @PresRajapaksa. ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය නව මායිම් ප්‍රස්ථාරගත කරන බැවින්, ඔබේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වනවා” යනුවෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ පණිවිඩයකට ප්‍රතිචාර දක්වමින් නරේන්ද්‍ර මෝදි පවසා ඇත.

”ඔබට ස්තුතියි @sf2024_sl. ශ්‍රී ලංකාව සමඟ අපගේ සබඳතා විශේෂයි. එය තවදුරටත් ගැඹුරු කිරීමට සහ ශක්තිමත් කිරීමට අපි ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ එක්ව කටයුතු කරන්නෙමු” යැයි හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ පණිවිඩයකට ප්‍රතිචාර දක්වමින් නරේන්ද්‍ර මෝදි පැවැසීය.