August 15, 2023

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට ගුවන් මගීන් පැමිණීමේදී ස්ථාන 03කින් ස්කෑන් යන්ත්‍ර වලින් පරීක්ෂාවන් සිදු කිරීම හේතුවෙන් පසුගිය කාල පරිච්චේදයේදී පිටත්වීමේ පර්යන්තය තුළ විශාල තදබදයක් ඇතිව ඇති අතර, මේ හේතුවෙන් විදෙස්ගතවන මගීන්ට විශාල අපහසුතාවයන්ට මුහුණදීමට සිදුව ඇත.

එමෙන්ම ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොරටුව අසල ඇති ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය එවකට පැවති ත්‍රස්ත්‍රවාදී තර්ජන හේතුවෙන් ස්ථාපිත කරන ලද්දකි.

එහෙත් මේ වනවිට රටේ පවතින සාමකාමී තත්ත්වය නිසා ගුවන් මගීන්ට විදේශ ගතවීමේදී සිදුවන අපහසුතාවයන්ද සැළකිල්ලට ගනිමින් මෙම ස්කෑන් යන්ත්‍රය පසුගිය අගෝස්තු 08 වැනිදා එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

එම නිසා ගුවන්තොටුපොළට හා ගුවන් මගීන්ට තම ආරක්ෂාව පිලිබඳව කිසිදු තර්ජනයක් ඇති නොවන බවත්, සෑම ගුවන් මගියෙක්ම ගුවන් යානයට ගොඩවීමට පෙර ස්ථාන 02 කදී විශේෂ ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවකට ලක් වන බවත්, ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම සඳහන් කරයි.

මේ අතර නවීන තාක්ෂණයෙන් යුත් කැමරා 446 කින් ලබා ගන්නා රූප රාමු ඇතුලත් ආරාක්ෂිත සී.සී.ටී.වී. කැමරා පද්ධතියකින් යුතු පැනලයක් තුළින් පැය 24 පුරා නිරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන බව එම සමාගම සඳහන් කර ඇත.

එමෙන්ම සිවිල් ඇඳුමින් සැරසුනු ගුවන්තොටුපොළ හා ත්‍රිවිධ හමුදාවන්ගෙන් සමන්විත ආවේක්ෂණ කණ්ඩායමක් පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්තවල සේවයේ නිරතවන බව සමාගම සඳහන් කර තිබේ.

එබැවින් ගුවන් මගීන්ට වඩාත් කාර්යක්ෂම හා උසස් සේවාවක් සැපයීම වෙනුවෙන් සිවිල් ගුවන්සේවා අධිකාරිය සහ අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා විධි විධානයන්ට යටත්ව මෙම ස්කෑන් යන්ත්‍රය ඉවත් කිරීම සිදුකළ බව ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ බලධාරීහු පවසති.

ලැබී ඇති තොරතුරු අනුව මේ දින වල විදෙස්ගතවන ගුවන් මගීන් සංඛ්‍යාව දිනකට 15,000කට ආසන්න සංඛ්‍යාවක් බව එම සමාගම අනාවරණය කරයි.

ගුවන්තොටුපොලේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ උපරිම ආරක්ෂාව ලබාදීම මෙන්ම ගුවන්තොටුපොළෙන් පිටත්වන සහ පැමිණෙන මගීන්ට උපරිම පහසුකම් ලබාදීමට පියවර ගැනීමක් බව මෙම නව ක්‍රමවේදය පිළිබඳව කරුණු දක්වමින් ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ ප්‍රධාන කලමණාකරු එච්. එස්. හෙට්ටිආරාච්චි සඳහන් කර ඇත.