April 1, 2025

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජ ලබා දීමේ වැඩසටහනේ ආරම්භය අද සනිටුහන් විය.

මෙම බෙදාහැරීම අප්‍රේල් 13 වැනි දින දක්වා අඛණ්ඩව සිදු කෙරේ.

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේදී ජීවන වියදම අඩු කිරීම සහ මහජනතාවට ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයන්ට මෙම පැකේජ බෙදා හරින බවයි.

දිවයින පුරා පිහිටි ලංකා සතොස සහ සමුපකාර අලෙවිසැල්වලින් මෙම ආහාර පැකේජ ලබාගත හැකිය.

ඒ අනුව, රුපියල් 5,000ක් වටිනා ආහාර පැකේජයක් රුපියල් 2,500කට ආසන්න මුදලකට ලබාගත හැකිය.

දැනට අස්වැසුම ප්‍රතිලාභීන් 812,000ක් පමණ සිටින අතර, අස්වැසුම ප්‍රතිලාභ සඳහා අලුතින් අයදුම් කළ අයගෙන් සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ට ද එය ලැබෙන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.

සුදුසුකම් ලත් අයට මෙම ප්‍රතිලාභය නිසි ලෙස බෙදා හැරීම සහතික කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වේ.

මුදල් අමාත්‍යාංශය, ආහාර ප්‍රතිපත්ති සහ ආරක්ෂක කමිටුව සහ සමුපකාර අලෙවිසැල් ජාලය එක්ව ‘සතුටින් සතොසින්’ යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.