September 17, 2023

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගතකරණය කිරීම යටතේ 300ක් පමණ වන සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි ‘මව්බිම’ පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව, සාමාන්‍යාධිකාරි (වැඩ ආවරණ) කළමනාකරු (තොග ආවරණ), ගබඩා කළමනාකරු, ගණකාධිකාරි, සහකාර ගණකාධිකාරි, කළමනාකරණ සහකාර, සුපරීක්ෂක, ප්‍රාදේශීය සුපරීක්ෂක, සුපරීක්ෂක (ඉන්ජිනේරු) රියැදුරු, උප රියැදුරු ඇතුළු තනතුරු ගණනාවක සේවය කළ 292 දෙනෙක් මෙසේ රැකියාවෙන් ඉවත් කිරීමට නියමිතව ඇත.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබී තිබෙන බැවින් සතොස පාලනාධිකාරය මෙම තීරණය ගෙන තිබේ.

මෙම අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමයට අනුව සියලුම සේවකයන්ට සැප්තැම්බර් මස වැටුප් ගෙවීමෙන් අනතුරුව 30 වැනිදා සිට මාසික වැටුප් හෝ වෙනත් කිසිදු දීමනාවක් නොගෙවන බවට සතොස සභාපති පසඳ යාපා අබේවර්ධනගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති චක්‍රලේඛයකින් දැනුම් දී ඇත.

ඇමැති මණ්ඩල අනුමැතිය පරිදි පත්කරන ලද නිලධාරි කමිටුව සතොස සියලුම සේවකයන් සඳහා වන්දි සූත්‍රයක් සකස් කර තිබෙන බව ද එහි සඳහන් කර තිබේ.

සතොස සේවකයන් ආයතනයෙන් ලබා ගෙන ඇති ණය සහ ගෙවීමට ඇති සියලුම මුදල් අඩුකිරීමෙන් හා විනය නියෝග මත ගෙවීම් කිරීමට ඇති සියලුම ගෙවීම් අඩුකිරීමෙන් ඉතිරිවන මුදල් වන්දි සූත්‍රයට අනුව ලබාදෙන බව චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.

මෙම අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය යටතේ ගෙවනු ලබන වන්දි මුදලට අමතරව ව්‍යවස්ථාපිත දීමනාවන සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ලබාගැනීමට සේවකයන් හිමිකම් ලබන බව එහි සඳහන් වේ.

එසේම සේවකයන්ට හිමි සේවා පාරිතෝෂික මුදල් අනිවාර්ය විශ්‍රාම ගන්වන 30 වැනිදා දක්වා ගණනය කර ලබන මස 15 වන දිනට පෙර ගෙවන බව චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.

මේ අතර, මෙතෙක් භාණ්ඩ බෙදාහැරීම සිදුකළ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) සතු සියලු දේපළ ඈවර කිරීමට ද එහි පාලනාධිකාරය තීරණය කර ඇත.

සතොස ප්‍රතිව්‍යුභගතකරණය කිරීමේ කැබිනට් තීරණය යටතේ ඉඩම්, ගොඩනැගිලි, නිවාඩු නිකේතන ඇතුළු නිශ්චල දේපොළ හා ලොරි ඇතුළු චංචල දේපළ ඈවර කිරීමට නියමිතය.

මෙම අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ තීරණයට හා සතොස දේපොළ ඈවර කිරීමේ තීරණයට එහි සේවකයන්ගෙන් විරෝධය පළ වී තිබේ.

ඒ අනුව පසුගිය සිකුරාදා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයට පැමිණි ඔවුහු මෙම තීරණ පිළිබඳව නැවත සළකාබලන ලෙසට ඉල්ලා ඇත.

එහිදී පැවති සාකච්ඡාවකදී සේවකයන් විශ්‍රාම ගැන්වීම හා සතොස ඈවර කිරීම කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව සිදුවන බැවින් තමන්ට ඒ සම්බන්ධව කිසිවක් කළ නොහැකි බව අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කර තිබේ.

අමාත්‍යාංශයේ තීරණයට විරෝධය පළ කරමින් ඉදිරි සතියේ සිට වෘත්තීය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සේවකයන් තීරණය කර ඇත.