June 10, 2024

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ මංගලගම ප්‍රදේශයේ දී ඉකුත් 7 වැනිදා සවස ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක මිය ගොස් තරුණයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා උපාධි අපේක්ෂාවෙන් සිටි 26 හැවිරිදි මෙරගල්ගේ සනුරි ඉසුරිකා වීරසේකර නැමැති ශිෂ්‍යයාවයි.

ඇය රඹුක්කන ගලඋඩදෙණිය පොල් අත්තාපිටිය ලිපිනයේ පදිංචිකාරියක බවත් කියයි.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ ඇගේ බාල සහෝදරයා සහ තවත් ඥාති සහෝදරයකු වන අතර මියගොස් ඇති විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවගේ පියා සම්පත් වීරසේකර රුමේනියා රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක සේවය කරන බව කෑගල්ල පොලිසිය පවසයි.

කුරුණෑගල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඇති ඇය සරසවි අධ්‍යාපනය අවසන් කර ඔක්තෝබර් මස පැවැත්වෙන උපාධි ප්‍රධානෝත්සවයේ දී උපාධිය ලබාගැනීමට සිට ඇති බව විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බවත් පොලිසිය පැවැසීය.

මෙම සිසුවිය මීට වසරකට පමණ ඉහතදී කුරුණෑගල ප්‍රදේශයෙන් රුපියල් 20,000ක් ගෙවා බලු පැටවකු රැගෙන පැමිණ ඇති දැඩි කරමින් සිට ඇති අතර ඉකුත් 04 වැනිදා බල්ලා මිදුලේ දිව යද්දී ගසක පිටුපස කකුලක් ගැටීමෙන් එදිනම කෑගල්ල නගරයේ පශු වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් තිබිණි.

වෛද්‍යවරයා බල්ලා පරීක්ෂා කර පවසා ඇත්තේ පිටුපස කකුල් දෙකේ අස්ථි බිදි ඇති බවත් වහාම පේරාදෙණියේ පිහිටි සත්ව රෝහල වෙත රැගෙන යන ලෙසත් යැයි පොලිසිය පැවැසීය.

පසුව ඉකුත් 07 වැනිදා පෙරවරු 8.30ට ඔවුනට අයත් ත්‍රිරෝද රථයෙන් බාප්පාගේ 18 හැවිරිදි පුතා ත්‍රිරෝද රථය පදවමින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයාව ඇගේ බාල සහෝදරයා හා බල්ලා පිටුපස සිට පේරාදෙණිය සත්ව රෝහලට ගොස් බල්ලාට ප්‍රතිකාර ලබාගෙන ආපසු නිවෙස කරා ගමන් කරමින් සිට ඇති බවත් පොලිසිය පැවැසීය.

උතුවන්කන්ද පසු කර කෑගල්ල දෙසට ත්‍රිරෝද රථය ධාවනය කරමින් සිටිය දී මංගලගම ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථය අදාළ මංතීරුවේ ධාවනය නොකර ප්‍රතිවිරුද්ධ මංතීරුවේ ගමන් කරමින් තිබිය දී කෑගල්ලේ සිට මාවනැල්ල බලා ධාවනය වෙමින් තිබුණු ලොරි රථයක මුහුණට මුහුණ ගැටී තිදෙනාම බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.

කෑගල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ශිෂ්‍යයාව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.

සෙසු තරුණයෝ දෙදෙනා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

අනතුර සිදු වූ අවස්ථාවේ දීම බල්ලාද මියගොස් ඇති බව පොලිසිය පැවැසීය.

මියගිය ශිෂ්‍යයාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා 08 වැනිදා කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සුරංග කුලතුංග විසින් සිදුකරනු ලැබ තිබුණු අතර ලබා දුන් සාක්ෂි හා වෛද්‍ය වාර්තාව අනුව මහා මාර්ගයේ සිදු වු රිය අනතුරක් හේතුවෙන් පපුවට, උදරයට හා බහුවිධ තුවාල හේතුවෙන් සිදු වූ හදිසි අනතුරු මරණයක් බවට කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක තීන්දු කළාය.

ලොරි රථයේ රියැදුරුවරයා වන ඇල්කඩුව හුන්නස්ගිරිය වත්ත ලිපිනයේ පදිංචිව සිටින 58 හැවිරිදි පාක්‍යනාදන් ස්ථානිලස් නැමැත්තා කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් නිශාන්ති අබයරත්න වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අද 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටී. (ලංකාදීප)