April 15, 2025

ඉරාකයේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශ හරහා හමාගිය වැලි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයන් 1,000 කට අධික පිරිසක් ශ්වසන ආබාධවලට ලක්ව ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.

මුතාන්න පළාතෙන් ‘හුස්ම හිරවීමේ’ තත්ත්වයට පත්වූ අවස්ථා 700ක් පමණ වාර්තා වී ඇතැයි AFP පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ.

අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන දර්ශන මගින් ඝන තැඹිලි පැහැති මීදුමකින් වැසී ඇති ප්‍රදේශ පෙන්නුම් කරන අතර, දේශීය ජනමාධ්‍ය වාර්තා කළේ, විදුලිය විසන්ධිවීම් සහ කලාප ගණනාවක ගුවන් ගමන් අත්හිටුවීම් ද වාර්තා වන බවයි.

ඉරාකයේ දූවිලි කුණාටු බහුල නමුත් දේශගුණික විපර්යාස හේතුවෙන් එවැනි ආපාදා අවස්ථා මේවනවිට ඉරාකයෙන් නිරන්තරයෙන් වාර්තා වේ.

පදිකයන් සහ පොලිසිය දූවිලි වලින් ආරක්ෂා වීමට මුව ආවරණ පැළඳ සිටින අතර හුස්ම ගැනීමේ අපහසුතා ඇති පුද්ගලයන්ට උපකාර කිරීම සඳහා වෛද්‍යවරුන් ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවලට යොමු කර ඇතැයි ද AFP පුවත් ඒජන්සිය වාර්තා කරයි.

දකුණු ඉරාකයේ මුතාන්නා පළාතේ රෝහල්වලට අවම වශයෙන් හුස්ම හිරවීම හේතුවෙන් පුද්ගලයන් 700ක් පමණ ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

නජාෆ් පළාතේ පුද්ගලයින් 250කට වැඩි පිරිසක් රෝහල්ගත කර ඇති අතර, දරුවන් ඇතුළු අවම වශයෙන් රෝගීන් 322ක් දිවානියා පළාතේ රෝහල් වෙත යොමුකර තිබේ.

ධි කාර් සහ බස්රා පළාත්වල තවත් 530 දෙනෙකුට හුස්ම ගැනීමේ ගැටළු මතුව ඇතැයි ද සඳහන් වේ.

වැලි කුණාටුව හේතුවෙන් ඉරාකයේ දකුණු පළාත් තැඹිලි වලාවකින් වැසීගිය අතර එමඟින් දෘශ්‍යතාව කිලෝමීටරයකට වඩා අඩුවිය.

මේ හේතුවෙන් නජාෆ් සහ බස්රා පළාත්වල ගුවන් තොටුපළ වසා දැමීමට බලධාරීන්ට සිදුවිය.

ප්‍රාදේශීය කාලගුණ සේවාවලට අනුව අඟහරුවාදා උදෑසන වන විට තත්ත්වය ක්‍රමයෙන් යහපත් වෙමින් පැවතිණි.

ඉරාකය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලැයිස්තුගත කර ඇත්තේ දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල් පහෙන් එකක් ලෙසයි.

ඒ, ඉරාකය නිරන්තරයෙන් වැලි කුණාටු, අධික තාපය සහ ජල හිඟයට මුහුණ දෙන බැවිනි.