February 9, 2025

ඉන්දියාවේ NTPC සමාගම විසින් ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 135 ක සාම්පූර් සූර්ය බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට අලෙවි කරන සෑම කිලෝවොට් පැයකටම බලශක්තිය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් ශත 5.97 ක නව ගාස්තුවක් පිළිබඳව බලශක්ති අමාත්‍යාංශය ලබන සතියේ කැබිනට් අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබේ.

මෙම මිලදී ගැනීමේදී සෑම කිලෝවොට් පැයකටම ඇමෙරිකානු ඩොලර් ශත 7ක් වැනි මුදලකින් සාකච්ඡා ආරම්භ කර තිබූ බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල පවසා ඇත.

එහෙත් එම ගණන මේ වනවිට ඇමෙරිකානු ඩොලර් ශත 5.97 දක්වා පහත දමා තිබේ.

NTPC සමාගම (කලින් ජාතික තාප විදුලි සංස්ථාව) සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර හවුල් ව්‍යාපාරයක් ලෙස, මෙම ව්‍යාපෘතිය පුනරීන් සහ මන්නාරමේ යෝජිත Adani Green Energy Sri Lanka Limited (AGESLL) සුළං බලාගාරවලට වඩා වෙනස් ලෙස සැලසුම් කර ඇත.

මෙම අදානි(Adani) ව්‍යාපෘති සඳහා ද ආණ්ඩුව පසුගිය වසරේ මැයි මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ගාස්තු සඳහා සංශෝධනයක් අපේක්ෂා කරයි.

පසුගිය මාසයේ නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ පුනරීන් සහ මන්නාරමේ අදානි සුළං බලාගාර සඳහා කිලෝවොට් පැයකට ඇමෙරිකානු ඩොලර් ශත 8.26ක ගාස්තුවක් අයකිරීම සඳහා 2024 මැයි මාසයේදී රජය විසින් ගෙන ඇති කැබිනට් තීරණය අවලංගු කරන බවයි.

නියමයන් සහ කොන්දේසි නැවත ඇගයීමට සහ අදානි සමූහය සමඟ නව ගාස්තුවක් පිලිබඳ එකඟතවකට පැමිණීම සඳහා නව ව්‍යාපෘති කමිටුවක් සහ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුවක් පිහිටුවන බව ද යෝජනාවේ සඳහන් වේ.

කෙසේවෙතත් ඒ සඳහා තවම කමිටුවක් හෝ පත්කර නොමැති බව පවසන මහාචාර්ය හේමපාල පෙන්වාදෙන්නේ, එම ක්‍රියාවලිය ඔස්සේ ඉදිරියට යාමට පෙර ආණ්ඩුව පළමුව අධිකරණයේ අවසරය ලබාගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතය.

“උසාවි අවසරයකින් තොරව අපට ඉදිරියට යා හැකි බව නීතිපතිවරයා පවසන්නේ නම්, අපට එය කළ හැකියි. කෙසේවෙතත්, නඩු අවසන් වන තෙක් බලාසිටිය යුතු යැයි අපට පැවසුවහොත්, එතෙක් අපට සාකච්ඡා ආරම්භ කිරීමට නොහැකි වනු ඇත.” ඔහු පැහැදිලි කරයි.

අදානි සුළං බල ව්‍යාපෘති අභියෝගයට ලක්කරමින් දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් සහ අභියාචනාධිකරණය හමුවේ රිට් අයදුම්පතක් ගොනුකර තිබේ.

අදානි ව්‍යාපෘති සඳහා කිලෝවොට් පැයකට අමෙරිකානු ඩොලර් 0.5 කට ආසන්න අනුපාතයක් රජය අපේක්ෂා කරන බව ද මහාචාර්ය හේමපාල පවසයි.

42.31%
17.27%
32.76%