July 28, 2023

සමගි ජන බලවේගය ඕනෑම මොහොතක මැතිවරණයට සූදානම් බවත්, එම නිසා ජනතාව ඉල්ලා සිටින මැතිවරණ අයිතිය ලබාදිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.

වත්මන් දුර්වල රාජ්‍ය පාලනය විසින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙළෙසමින් මැතිවරණ පැවැත්වීම කල්දැමීම නිසා ජන ජීවිතය පීඩාවට පත්ව ඇතැයිද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරන ලද්දේ, අද (28) ගුරු උපදේශකවරුන් සමග විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ය.

ණය බරින් ජනතාව මිරිකී ඇති මොහොතක රටේ ආණ්ඩුවක් නොමැති ආකාරයෙන් සොරකම්, වංචාව දූෂණ ඉස්මතු වී ඇති බවත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණය වංචා ඉහළ ගොස් ඇති බවත්, ඔහු එහිදී පැවසීය.

ආණ්ඩුවට රට ගොඩගැනීමට නොහැකි නම් ජනවරමකට යා යුතු බවත්, එම ජනතා අධිකරණය ඉදිරියට යෑමට සමගි ජන බලවේගය සුදානම් බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අන් සියලු දේට වඩා වැදගත් වන්නේ ජනතා සෛවරීත්වය, පරමාධිපත්‍යය සහ ජන වරමවන බවද ඔහු පෙන්වාදුන්නේය.

මෙවන් තත්ත්වයක් තුළ ජනතාව පෙළෙනා දුකින් මුදවා ගැනීමට නොහැකි නම්, නව වරමක් සදහා යා යුතු බවත්, එකී ජන වරම තුළ නව ජාතික ප්‍රතිපත්තියක් තුළින් රටේ ඉලක්ක සපුරා ගත හැකි බවත්, හෙතෙම වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.