November 25, 2023

2022 මැයි 09 වැනිදාට පෙර අගමැති වීමේ අභිලාෂයක් තමාට තිබූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අද ප්‍රතික්ෂේප කළේය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ෆේස්බුක් හි සටහනක් තබමින් කියාසිටියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී තම නම සඳහන් කර තමාට අගමැති වීමේ අභිලාෂයක් වූ බවට අසත්‍ය ප්‍රකාශ කළ බවයි.

හිටපු සභාපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයාට පිළිතුරු දිය නොහැකි පාර්ලිමේන්තු මුක්තියට මුවා වී මෙම අසත්‍ය ප්‍රකාශ කර ඇති බවයි.

“ඔහු වැනි දේශපාලනඥයන් මෙන් මා කිසිවිටෙක රටේ අවශ්‍යතාවලට වඩා පෞද්ගලික අභිලාෂයන් ඉදිරියේ තබා නැති බව කීමට කැමතියි. මම කිසිවිටෙක මගේ ප්‍රතිපත්ති පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා හෝ තනතුරු තණ්හාව සඳහා කැප කර නැහැ.” යැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය ෆේස්බුක් සටහනේ සඳහන් කර ඇත.

“2022 මැයි මාසයේදී ඉදිරිපත් කරන ලද රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා කිසි විටෙක තනි පුද්ගල සම්බන්ධයක් සහිත ඒවා නොවේ. ඒවා එහි විධායක කමිටුව විසින් හොඳින් සිතාබලා අනුමත කරන ලද ඒවාය. නීති ප්‍රජාව මෙම යෝජනා ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ අවශ්‍යතා මනසේ තබාගෙන, ශ්‍රී ලංකාවේ දේශපාලන හා පාලන අර්බුදයට විසඳුමක් යෝජනා කිරීමේ අදහසිනි. ” එම සටහනේ වැඩිදුරටත් සඳහන් වේ.

42.31%
17.27%
32.76%