August 24, 2024

පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කරමින් මූලික අයිතිවාසිකම් කඩ කිරීමේ චෝදනාවට මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වරදකරු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන් තීන්දුවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඉහළින් අනුමත කර තිබේ.

ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, බලයේ සිටින ජනාධිපතිවරයකු එවැනි අයිතීන් කඩ කළ බවට ඉතිහාසයේ දුන් දෙවැනි තීන්දුව මෙම තීන්දුව මගින් සනිටුහන් වන බවයි.

මැතිවරණ බාධා කිරීම්වලට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සැමවිටම දැරූ ස්ථාවරය එමගින් තහවුරු කර ඇති බව ද ඔහු පැවසීය.

2023 මාර්තු 19 වැනිදාට පෙර පැවැත්වීමට නීත්‍යනුකූලව නියම කර තිබූ පළාත් පාලන මැතිවරණයට බාධා කිරීමට රජය දරන උත්සාහය 2023 පෙබරවාරි 18 වැනි දින ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ප්‍රසිද්ධියේ හෙළාදුටු බව ඔහු සිහිපත් කර තිබේ.

මැතිවරණ සඳහා ජනතාවගේ අයිතියට ගරු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ එවක ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කරන ලද ප්‍රකාශය මෙම තීන්දුවෙන් සම්පූර්ණයෙන්ම සනාථ වී ඇති බව ද ඔහු පෙන්වාදෙයි.

මැතිවරණ සඳහා රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කර තිබියදීත් මුදල් හිඟයක් ගැන භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රකාශයන් සහ මුදල් කඩිනමින් නිදහස් කරන ලෙස රජයේ මුද්‍රණාලයේ ඉල්ලීම් ඇතුළු රජයේ ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳ එවක ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශය මගින් කණගාටුව පළකර තිබිණි.

ජනාධිපති නීතීඥ පීරිස් සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය තහවුරු කරන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ නීතියේ ආධිපත්‍යය ඛාදනයවීම පිළිබඳ යළි යළිත් සිහිපත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනතුරු අඟවා තිබුණේ මැතිවරණ ක්‍රියාවලියට සිදුකරනු ලබන කිසියම් මැදිහත්වීමක් දුරදිග යන ප්‍රතිවිපාක ගෙන දෙනු ඇති බවටයි.