August 23, 2024

රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියලුම රාජ්‍ය සේවා වෘත්තිකයන් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප 2025 වසරේ ජනවාරි මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න පවසයි.

එසේම, සියලුම රාජ්‍ය සේවකයන් සඳහා පවතින උද්ධමනය හා ආර්ථික සාධක සැළකිල්ලට ගෙන පාදක වසර ලෙස 2025 ජනවාරි මසයේ සිට ජීවන වියදම් දීමනාව වසර තුනක් දක්වා නොවෙනස්ව රුපියල් 25,000.00 බැගින් ලබාදීමටද වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුව යෝජනා කර ඇත.

මේ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හා භාණ්ඩාගාර එකඟත්වය ලැබී ඇති බව සඳහන් කළ සභාපතිවරයා, නව සංශෝධනය සමඟ රාජ්‍ය සේවයේ පහළම සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 30,000.00ක් වන අතර ජීවන වියදම් දීමනාව ද සමඟ මුළු වැටුප රුපියල් 55,000.00ක් වන බව ද කියාසිටියේය.

වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න මෙම අදහස් පළ කළේ, ’ස්ථාවර රටකට – සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (22) පැවැති ජනමාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

කුමන ආණ්ඩුවක් බලයට පත්වුවත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් පසුගිය කාලවලදි සිදු කළ රාජ්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ග සලකා බලා වැටුප් විෂමතා නැති කිරීමට මෙම යෝජනා ඉදිරිපත් කළ බවත් උදය ආර්.සෙනෙවිරත්න පෙන්වා දුන්නේය.

ඔහුට අනුව, විශ්‍රාමිකයන් සඳහා ද, 2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව රුපියල් 12,500.00 බැගින් ලබා දීමටත්, 2020 වසරට පෙර විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයින්ගේ මෙතෙක් නොගෙවන ලද වැටුප් වර්ධකය ලබා දී ඔවුන්ගේ විශ්‍රාම වැටුප ඒ අනුව සංශෝධනය කිරීමට ද ක්‍රියාකරනු ඇත.