April 4, 2025

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි කාමන් මොරේනෝ සමඟ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය වෙනුවෙන් ලබාදී ඇති GSP+ සහන යෝජනා ක්‍රමය පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ.

‘X’ පණිවිඩයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ, එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකාවට මෑතකදී පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු වලින් පසුව, GSP+ සහනය පූර්ණ ලෙස භාවිත කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකළ බවයි.

නව අපනයන අවස්ථා විවෘත කිරීම සඳහා යුරෝපා සංගමය වැනි හවුල්කරුවන් සමඟ සම්බන්ධවීමේ වැදගත්කම සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර ඇත.

“GSP+ ප්‍රවේශය දැනටමත් ක්‍රියාත්මක වන බැවින්, ප්‍රශ්නය වන්නේ, අපි එයින් පූර්ණ ප්‍රයෝජන ගන්නවාද යන්නයි. එක්සත් ජනපද තීරුබදු ඉදිරියට එන විට, අවදානම් කළමනාකරණය කිරීමට පමණක් නොව, නව අපනයන අවස්ථා විවෘත කිරීම සඳහා අපි යුරෝපා සංගමය වැනි හවුල්කරුවන් සම්බන්ධ කරගත යුතුය. ශ්‍රී ලංකාව බලා නොසිට ක්‍රියාකළ යුතුය,” යැයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා ඇත.