September 18, 2024

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඊයේ රාත්‍රියේ දෙරණ නාලිකාවේ 360 සජීව වැඩසටහන මගහැර තිබේ.

සජිත් ප්‍රේමදාසගේ තහවුරු කිරීම මත, දෙරණ රුපවාහිනිය විසින් සති එකහමාරක පමණ කාලයක් තිස්සේ 360 වැඩසටහනට ඔහු පැමිණෙන බවට පූර්ව ප්‍රචාරයන්ද සිදුකර තිබිණි.

ඊට අමතරව දෙරණ රුපවාහිනියේ සහෝදර අරුණ පුවත්පතේද ඊට අදාළ දැන්වීම් පළකර තිබිණි.

කෙසේවෙතත් ඊයේ පෙරවරුවේ සජිත් ප්‍රේමදාසගේ ලේකම්වරයකු යැයි කියාගන්නා පුද්ගලයකු විසින් දෙරණට ලිපියක් යොමුකරමින් දැනුම්දී ඇත්තේ, සජිත් අදාළ වැඩසටහනට සහභාගී නොවන බැවින් පූර්ව ප්‍රචාරක පට ප්‍රචාරය නොකරන ලෙසයි.

මේ හේතුවෙන් 360 වැඩසටහන වෙනුවට දෙරණ රුපවාහිනිය විසින් ඊයේ රාත්‍රියේ වෙනත් දේශපාලන සංවාදයක් සංවිධානය කර තිබිණි.

ඊට සමගි ජන බලවේගය නියෝජනය කරමින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගෙන් සජිත් ප්‍රේමදාස සිදුකළ මෙම ක්‍රියාව පිළිබඳව ප්‍රශ්න කෙරුණු අතර, මන්ත්‍රීවරයා එහිදී දැඩි අපහසුතාවට පත්වන ආකාරය දැකගත හැකිවිය.

මීට පෙර සිරස රුපවහිනියද සජිත් ප්‍රේමදාසට සජීව දේශපාලන සංවාදයකට ආරාධනා කර තිබුණද ඔහු එයද ප්‍රතික්ෂේප කර තිබිණි.

සජිත් ප්‍රේමදාස මෑත කාලීනව සහභාගී වී ඇත්තේ හිරු රුපවාහිනියේ ප්‍රචාරය වූ, කළින් පටිගත කරන ලද බව පැවසෙන දේශපාලන සාකච්ඡාවකට පමණි.